කැන්ගරුවන්ට අභියෝගයක් වන ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් සංචිතය

417

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර හෙට (10) ආරම්භ වීමට නියමිත එකම තුන් දින ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් තරග වදින 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික තේරීම් කමිටුව විසින් තෝරාපත් කරගෙන ඇත.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා යොවුන් ටෙස්ට් ගැටුමට පෙර

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා යොවුන් ක්‍රිකට්…

එහි නායකත්වයත් සුපුරුදු ලෙස වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් දනංජය වෙත ලබා දී ඇති අතර පසුගිය දා නිමා වූ දෙරට අතර පැවති තරුණ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

නිමා වූ එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ සිටි ආරම්භක පිතිකරුවෙක් වන නවෝද් පරණවිතාන ආබාධයක් නිසාවෙන් මේ සංචිතයට නම් කර නොමැති අතර, පා දඟපන්දු යවන ක්‍රීඩක රවීන් ද සිල්වා, තුන් ඉරියව් ක්‍රීඩක අවිශ්ක තරිඳු , වේගපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් රොද්‍රිගෝ හා මුල්පෙළ පිතිකරුවෙක් වන ප්‍රවීන් නිමේෂ් යන ක්‍රීඩකයින් අද දින නම් කළ යොවුන් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ.

>>Photos: Australia U19 Team Tour to Sri Lanka 2019 | 3rd ODI<< 

ඒ වෙනුවට චිහාන් කළිඳු, පවන් රත්නායක යන පිතිකරුවන් දෙදෙනා හා ත්‍රිත්ව විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක රුවින් පීරිස් කණ්ඩායමට කැඳවා තිබෙන අතර පිට දඟපන්දු යවන ක්‍රීඩක සඳුන් මෙන්ඩිස් හා විජයකාන්ත් වියස්කාන්ත් නැවත වතාවක් ශ්‍රී ලංකා  යොවුන් සංචිතයේ සිය ස්ථානය හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග 7න් එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර තවත් තරග 4ක් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ ජය පරාජයෙන් තොරව අවසන් වූ ටෙස්ට් තරග දෙකට අමතරවයි. ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් සමඟ අවසන් වරට ටෙස්ට් තරගය ක්‍රීඩා කර ඇත්තේ 2000/01 වර්ෂවල දී ය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ටෙස්ට් සංචිතය

නිපුන් දනංජය (නායක – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), දිලුම් සුධීර (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), විජයකාන්ත් වියස්කාන්ත් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), රුවින් පීරිස් (ත්‍රිත්ව විද්‍යාලය), චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය) , තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), ඩිල්ශාන් මදුසංක (හුංගම විජයබා ජාතික පාසල), මොහොමඩ් ශමාස් (කොළඹ සහිරා විද්‍යාලය), පවන් රත්නායක (මහානාම විද්‍යාලය)

තරග කාලසටහන 

  • එකම තෙදින ටෙස්ට් තරගය – ජනවාරි 10 -12 – SCC ක්‍රීඩා පිටිය

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ හා එසැණ තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <