5 වැනි සතියේ ආරම්භක ජයග්‍රහණ New Star සහ Serendibට

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

240

දිවයිනේ ක්‍රීඩාංගණ 3ක දී අද (02) ක්‍රියාත්මක වූ ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 5 වැනි සතියේ සමාරම්භක තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්න New Star SC සහ Serendib SC සමත් වුනා.

ඔවුන් හමුවේ පිළිවෙළින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ Negombo Youth SC පරාජය වෙද්දී, ගාල්ලේ දී පැවති Saunders SC සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය (SLTB) අතර තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

New Star SC සහ Moragasmulla SC

ගෝල 4-1ක් ලෙස නිමා වූ මෙම තරගයේ ජයග්‍රණයට හිමිකම් කීවේ මොරගස්මුල්ල පැරද වූ New Star ක්‍රීඩා සමාජයයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට මොරගස්මුල්ල ක්‍රීඩක Pubudu Sakulada සමත් වුනේ තරගාරම්භයෙන් මිනිත්තු 4ක් ගත වන විටයි.

ආරම්භයේ දී ම ලද පීඩනය මනාව හසුරුවා ගත් New Star ක්‍රීඩා සමාජය සිය ප්‍රථම ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ 7 වැනි මිනිත්තුවේ දීයි. මොහොමඩ් ශාකිර් විසින් වාර්තා කළ එම ගෝලයත් සමඟින් තරගයේ ලකුණු පුවරුව සම වූ අතර පළමු අර්ධය නිමා වීමට ආසන්න වන තෙක් ලකුණු පුවරුව නොවෙනස්ව පැවතුනත්, පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේ දී මොහොමඩ් අනාස් ගෝලයක් වාර්තා කරමින් New Star පෙරමුණට රැගෙන ආවා.

ගෝල 2-1ක් ලෙස New Star ක්‍රීඩකයින් පෙරමුණ ගනිමින් දෙවැනි අර්ධය ආරම්භ වූ අතර New Star විසින් මෙම අර්ධයේ දී තවත් ගෝල දෙකක් සිය ලකුණු පුවරුවට එකතු කර ගන්නට සමත් වුනා.

78 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ ගෝලය සඳහා මොහොමඩ් අස්මින් හිමිකම් කියූ අතර ශාකිර් විසින් මෙම තරගයේ දී වාර්තා කළ දෙවැනි ගෝලයට හිමිකම් කියන්නට සමත් වුනේ 81 වැනි මිනිත්තුවේ දීයි. කෙසේ නමුත් මොරගස්මුල්ල ක්‍රීඩකයින් මෙම අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: New Star SC 4 -1 Moragasmulla SC

ගෝල ලාභීන්:

  • New Star – මොහොමඩ් ශාකිර් (7’ & 81’), මොහොමඩ් අනාස් (45’), මොහොමඩ් අස්මින් (78’)
  • මොරගස්මුල්ල – Pubudu Sakulada (4’)

Serendib SC සහ Negombo Youth SC

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දී ගෝල 5-2ක් ලෙස මීගමුව ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Serendib ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කරන්නට මීගමුව ක්‍රීඩකයින්ට අවස්ථාව හිමි නොවූ අතර Serendib ක්‍රීඩකයින් විසින් තරගය ආරම්භ වී මිනිත්තු 5ක් යන්නටත් ප්‍රථම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ මොහොමඩ් ෆයාස් විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

ඉන් අනතුරුව පළමු අර්ධය නිමා වීමට පෙර තවත් ගෝලයක් සිය කණ්ඩායමට එකතු කර ගන්නට Serendib ක්‍රීඩකයින් සමත් වූ අතර 38 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූ එම ගෝලයට හිමිකම් කීවේ Ofori George.

ගෝල 2-0ක් ලෙස පිටුපසින් සිටිමින් දෙවැනි අර්ධය ආරම්භ කළ මීගමුව ක්‍රීඩකයින් සිය ප්‍රථම ගෝලය වාර්තා කළේ 50 වැනි මිනිත්තුවේ දීයි. Anthony Ikwegbuo විසින් වාර්තා කළ එම ගෝලයට පිළිතුරු ලෙස Serendib ක්‍රීඩක Asante Evans ගෝලයක් වාර්තා කළේ 66 වැනි මිනිත්තුවේ දීයි.

ඉන්පසුව Serendib නායක රියාස් මොහොමඩ් විසින් 78 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව 4ක් දක්වා ඉහළ දමන්නට සමත් වූ අතර ඉන් මිනිත්තු දෙකකට පසුව සිය දෙවැනි ගෝලය සාර්ථක කර ගත් Evans Serendib ලකුණු පුවරුව ගෝල 5ක් දක්වා ඉහළ දමන්නට සමත් වුනා.

කෙසේ නමුත් දැඩි පීඩනයක් සමඟින් ක්‍රීඩා කළ මීගමුව ක්‍රීඩකයින් විසින් තරගයේ අතිරේක කාලයේ දී ගෝලයක් වාර්තා කරන්නට සමත් වූ නමුත් එම ගෝලය ඒ වන විටත් තරගය ජයග්‍රහණය කර සිටි Serendib ක්‍රීඩකයින් අභිබවා යන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Serendib SC 5 – 2 Negombo Youth SC

  • Serendib – මොහොමඩ් ෆයාස් (4’), Ofori George (38’), රියාස් මොහොමඩ් (78’), Asante Evans (66’ & 80’)
  • Negombo – Anthony Ikwegbuo (50’), Chtysteen Fernando (90+1)

තරගාවලියේ 5 වැනි සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<