සම්මුගේ දක්ෂ ඉණිමෙන් තරගාවලි ජය තරුණ සිංහයන්ට

533
Gamini Dissanayake Challenge Trophy

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ගාමිණී දිසානායක අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) SSC පිටියේදී පැවති තෙවන තරුණ එක්දින තරඟය සම්මු අශාන් ගේ නොදැවුනු පිතිකරණය නිසා  කඩුලු 6 කින් තරඟය ජයග්‍රහණය කරමින් එක්දින තරුණ  තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

පසුගිය ලිපි: අවිශ්කගේ නායකත්වයේ පිත්ත ජයක් සඳහා මඟක් කියයි

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු  කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට  තීරණය කල අතර ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3 ලකුණු 43 ක් වනවිට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. වැන්ඩිල් මක්වෙට්ටු 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 26 ක් ලබාගන්නා ලදි.

අනතුරුව පිටියට පැමිණි වියාන් මුල්ඩර් හා වෑන් ටොන්ඩර් 4වන කඩුල්ල සඳහා ලකුණු 70ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ටොන්ඩර් එක් 4 පහරක් සමඟ ලකුණු 37 කට දැවීයන ලදි. නායක මුල්ඩර් මෙම තරගයේ දී ද තම ඉණිම අර්ධ ශතකයට ගෙනයමින් 4 පහරවල් 4ක් සමඟ ලකුණු 59ක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය. ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 38කට දවාලමින් ශ්‍රී ලංකා පන්දුයවන්නන් විශිෂ්ට පන්දුකරණයක නිරත විය.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 195-9 (50) වියාන් මුල්ඩර්  59, වෑන් ටොන්ඩර් 37, වැන්ඩිල් මක්වෙට්ටු 26, දමිත සිල්වා 4/48, සම්මු අශාන් 3/38

අනතුරුව ලකුණු 196 ක තරඟකාරී ලකුණක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස එක් 4ක් සමඟ ලකුණු 5ක් ලබාසිටි පැතුම් නිස්සංක දැවීයන ලදි. අනතුරුව දෙවන කඩුල්ල සඳහා ලකුණු 25ක සබඳතාවයක් ගොඩනැංවීමට නායක අවිශ්ක ප්‍රනාන්දු හා ෂැනෝගීත් ශන්මුගනාදන් සමත් විය. අවිශ්ක 4 පහරවල් 2ක් සමඟ ලකුණු 16කට දැවීයන ලදි. අනතුරුව තෙවන කඩුල්ල සඳහා ද ලකුණු 26ක සබඳතාවයක් ගොඩනැංවීමට ෂැනෝගීත් හා මිශේන් සිල්වා සමත් විය. ලකුණු 99ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වන විට හොදින් පන්දුවට පහර දෙමින් සිටි ෂැනෝගීත් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 41 කට දවාලීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය.

අනතුරුව පිටියට පැමිණි සම්මු හා අශේන් බණ්ඩාර ලකුණු 100* ක නොබිදුනු සබඳතාවයක් පවත්වාගෙන තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. දක්ෂ පිතිකරණයක නිරත වූ සම්මු ලකුණු 70* ක් ලබාගැනීමට 4 පහරවල් 4 ක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි. ඔහුට සහය වූ බණ්ඩාර ලකුණු 37* ලබාගැනීමට 4 පහරවල් 2 ක් එල්ල කරන ලදි.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම – 199 -4 (45.5) සම්මු අශාන් 70*, ෂැනෝගීත් ශන්මුගනාදන්  41, අශේන් බණ්ඩාර 37*, වියාන් මුල්ඩර් 2/32, විලියම් සෙන්ඩින් 2/33

ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය 2-1 ක් ලෙස ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමට හිමිවිය.

තරගාවලියේ වීරයන් පහත පරිදි සම්මාන දිනාගන්නා ලදි,

  • පළමු ටෙස්ට් තරඟය – සම්මු අශාන් (ශ්‍රී ලංකාව), ජොශුවා හර්ඩින් (දකුණු අප්‍රිකාව)
  • දෙවන ටෙස්ට් තරඟය -පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව), ජොශුවා හර්ඩින් (දකුණු අප්‍රිකාව)
  • තෙවන ටෙස්ට් තරඟය -ප්‍රවීන් ජයවික්‍රම (ශ්‍රී ලංකාව), වියාන් මුල්ඩර් (දකුණු අප්‍රිකාව)
  • ටෙස්ට් තරගාවලියේ වීරයා – වියාන් මුල්ඩර් (දකුණු අප්‍රිකාව)

  • පළමු එක්දින තරගය – ජෙරම් බූසර් (දකුණු අප්‍රිකාව)
  • දෙවන එක්දින තරඟය -අවිශ්ක ප්‍රනාන්දු
  • තෙවන එක්දින තරඟය – සම්මු අශාන්
  • එක්දින තරගාවලියේ වීරයා – සම්මු අශාන්

  • දකුණු අප්‍රිකානු ජීව ගුණය පිරි ක්‍රීඩකයා – නායක වියාන් මුල්ඩර්
  • ශ්‍රී ලංකා ජීව ගුණය පිරි ක්‍රීඩකයා – නායක අවිශ්ක ප්‍රනාන්දු

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

තරගයේ Highlight වීඩියෝව