රාජකීය විද්‍යාලය ලකුණු 359ක් පිටුපසින්

U19 School Cricket 2026

10
Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ 2 වැනි දිනය (29) අවසන් වෙද්දී ප්‍රතිවාදීන්ගේ ඉලක්කය හඹා යන රාජකීය විද්‍යාලය තවත් කඩුලු 9ක් අතැතිව මේ වන විට ලකුණු 359ක් පිටු පසින් පසු වෙනවා.

කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 443ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

>>සෙනුජ සහ රිශ්ම වැටුණ ඉනිම ගොඩ ගනී<<

අද තරගය ආරම්භ වෙද්දී සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 226ක් ලබා සිටි අතර ඒ වෙද්දී සෙනුජ වැකුණගොඩ නොදැවී ලකුණු 118ක් ද සහ චේතින කාවින්ද නොදැවී ලකුණු 15ක් ද ලබා සිටියා.

ඔවුන්ගේ ඉනිමට ලකුණු 14ක් එක් වෙද්දී සෙනුජ වැකුණගොඩ දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කර තිබූ අතර සෙනුජ වැකුණගොඩ දැවී යන විට පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 123ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව චේතින කාවින්ද, දිල්ප මදුරංග ද එක් කර ගනිමින් 6 වැනි කඩුල්ලට ලකුණු 110ක් එක් කරමින් නැවත වතාවක් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ අපහසුතාවට පත් කරනවා.

එම සබඳතාව බිඳී යන්නේ දිල්ප මදුරංග ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා. චේතින කාවින්ද ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා.

අනතුරු ව සාන්ත ජෝසප් ඉනිමට තවත් අර්ධ ශතකයක් එක් කිරීමට නුශාන් පෙරේරා සමත් වෙනවා. ඔහු 9 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.

ඊට අමතර ව තිසඟ පෙරේරා පන්දු 23කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී හිමරු දේශාන් සහ මහිරු කොඩිතුවක්කු කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව දුශේන් උඩවෙල, ගගන් ගමගේ සහ නිටේශ් ජයසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

රාජකීය විද්‍යාලයීය පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ හිරුන් ලියනාරච්චි සමඟින් නායක රෙහාන් පීරිස්. ඔවුන් දෙදෙනා පන්දු 28ක් තුළ පළමු කඩුල්ලට ලකුණු 32ක සබඳතාවක් ගොඩ නගනවා.

එම වේගවත් සබඳතාව බිඳ වැටෙන්නේ හිරුන් ලියනාරච්චි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.

තරගය 2 වැනි දිනයට නතර කරන විට රෙහාන් පීරිස් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද සහ දුශේන් උඩවෙල පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව මේ වන විට 2 වැනි කඩුල්ලට පන්දු 98ක දී නොදැවුණ ලකුණු 52ක සබඳතාවක් එක් කර තිබෙනවා.

රාජකීය ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය විග්නේස්වරන් ආකාශ් සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 443 (120.0) සෙනුජ වැකුණගොඩ නොදැවී 118, රිශ්ම අමරසිංහ 73, චේතින කාවින්ද 78, දිල්ප මදුරංග 56, නුශාන් පෙරේරා 54, මහිරු කොඩිතුවක්කු 3/106, හිමරු දේශාන් 3/73
  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 84 (26.0) හිරුන් ලියනාරච්චි 25, රෙහාන් පීරිස් නොදැවී 31, දුශේන් උඩවෙල නොදැවී 24

රාජකීය විද්‍යාලය ලකුණු 359ක් පිටුපසින්.

මෙම තරගය හෙට (30) 3 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<