පැහැබර ක්‍රිකට් අනාගතයක සුබ පෙර නිමිති

493
lahiru kumara

ලහිරු කුමාරගේ වේග පන්දුවේ බලය හමුවේ දනින් වැටුණු එංගලන්ත යොවුන් කණ්ඩායම පරදවා කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් යොවුන් ටෙස්ට් තරගාවලිය ජයගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩාය ඊයේ  සමත් විය. දෙවන යොවුන්  ටෙස්ට් තරගය පැවැත්වුනේ එංගලන්තයේ නොදම්ප්ටන් හීදීයි.

පසුගිය ලිපි: ලහිරුගේ පන්දු ප්‍රහාරයට නවිඳුගේ පිත්තේ සවිය

ඊයේ තුන්වන දිනයට තරගය ආරම්භ කරන විට එංගලන්ත යෞවනයන් දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24කි. දෙවන කඩුල්ලේ සබඳතාව ලකුණු 64ක් දක්වා වර්ධනය කලේ ජෝජ් හැන්කින්ස් සහ ඔලී වෙස්ට්බරි විසිනුයි. පළමු ඉනිමේ ශ්‍රී ලංකාව ලබාගත් වාසිය අභිබවා යාමට පෙර මෙම සබඳතාව බිඳ වැටුනේ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේයි.

ලකුණු 89ක් වන විට එංගලන්ත කඩුලු 4ක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගය දින 3ක් තුල අවසන් කිරීමේ මග විවර කර ගන්නා ලදී. මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක් ඉනිමේ කඩා වැටීම නවතන්නට උත්සාහ දරූවත් එම කිසිදු උත්සාහයකට වැඩි කල් පැවැත්මක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ එංගලන්ත දෙවන ඉනිම ලකුණු 192කට සීමා විය.

කඩුලු 7ක් සමගින් එංගලන්ත පළමු ඉනිම වැනසූ ලහිරු කුමාර දෙවන ඉනිමේදීත් කඩුලු 4ක් දවා ගන්නා ලදී. ප්‍රවීන් ජයවික්‍රම බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්. නායක චරිත් අසලංක ද කඩුලු 2ක් බිඳ හෙලීය.

මේ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 94කි. තරගය අවසන් දිනය කරා දික් ගැස්සවීමේ කිසිදු අරමුණකින් තොරව පිටියට පිවිසි ඔවුන් අදාළ ඉලක්කය සපුරා ගන්නට වැය කළේ පන්දුවාර 10.2ක් පමණයි. නායක චරිත් අසලංක පන්දු 18කින් ලකුණු 40ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගිනුයි.

දෙරට අතර පැවති පළමු යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය හිමි වූයේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග සැසඳීමේදී එංගලන්ත යොවුන් කණ්ඩායම තරමක් අත්දැකීම් අඩු ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවත්, ජාතික කණ්ඩායමටත් තර්ජනයක් වූ එංගලන්ත දේශගුණයේ සහ තණතිලි වල අභියෝගය ජය ගනිමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දැක්වූ මේ දස්කම මෙරට ක්‍රිකට් අනාගතයට සුබ පෙර ලකුණක් වන බව නම් නොඅනුමානයි.

ලකුණු පුවරුව :

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී 208 (82.2) මැක්ස් හෝල්ඩන් – 111*, ඔලී වෙස්ට්බරි – 45, එඩ් බාන්ස් – 16, අමර් විර්දී – 16, ලහිරු කුමාර – 7/82, වනිඳු හසරංග – 1/6, ජෙහාන් ඩැනියල් – 1/27, තිලාන් ප්‍රසාන් – 1/33

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී – 307 (84) නවිඳු විතානගේ -80*, ජෙහාන් ඩැනියල් – 52,  අවිශ්ක ප්‍රනාන්දු – 49, චරිත් අසලංක – 33, එඩ් බාන්ස් – 3/38, ජෝජ් පනායි  – 3/51

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවන ඉනිම – සියල්ලන් දැවී – 192 (66.4) ඔලී වෙස්ට්බරි – 41, ඒරන් බියර්ඩ් – 26, ජෝජ් බාට්ලට්  – 26, ලහිරු කුමාර – 4/52, ප්‍රවීන් ජයවික්‍රම – 3/38, චරිත් අසලංක  – 2/04

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවන ඉනිම – 94/3 (10.2) – චරිත් අසලංක – 40, වනිඳු හසරංග – 20*, අවිශ්ක ප්‍රනාන්දු – 20, ජෝජ් පනායි – 2/18

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරග 2කින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලියේ ජය තරග 1 – 0 ක් ලෙස ශ්‍රී ලංකාවට.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට