ලහිරුගේ පන්දු ප්‍රහාරයට නවිඳුගේ පිත්තේ සවිය

356
Sri Lanka u19 v England u19

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වනවිට තරගයේ වැඩි ගෞරවය හිමි කර ගන්නට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.

ඒ එංගලන්ත යෞවනයන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 99ක වාසියක් ලබා ගැනීමෙන් පසු ඊයේ දිනය තුලදීම එංගලන්ත නායකයාගේ දෙවන ඉනිමද අවසන් කරමිනුයි.

පසුගිය ලිපි: ලහිරුගේ වේග පන්දුව එංගලන්ත ඉනිම සුණු විසුණු කරයි

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා යෞවනයන් පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබා සිටියේ, එංගලන්ත යොවුන් කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු 208ට පිළිතුරු වශයෙනි. නායක චරිත් අසලංක ලකුණු 33කට දැවී යාමෙන් පසු තවත් ඉක්මන් කඩුලු 2ක් දවා ගත් එංගලන්තය, ශ්‍රී ලංකා යෞවනයන් ලකුණු 79කට කඩුලු 4ක් දක්වා පහතට ඇද දමන්නට සමත් විය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49ක් සහ අශේන් බණ්ඩාර ලකුණු 25ක් ලබාගත්තද ඔවුන් දෙදෙනා දැවී ගිය පසු ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වූයේ 153/6ක්  ලෙසිනුයි. මේ අනුව පන්දු යවන්නන් ලබා දුන් වාසිය අපතේ යාමේ තර්ජනයක් මතුවී තිබුනත්, ශ්‍රී ලංකා යෞවනයන් ගලවා ගන්නට උපකාරී වූයේ 7වන කඩුල්ලේ සබඳතාවයි.

කඩුලු රකින ක්‍රීඩක නවිඳු විතානගේ සහ ජෙහාන් ඩැනියල් එක්ව 7වන කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 95ක් විය. ජෙහාන් ලකුණු 52ක් ලබා ගන්නා ලදී. අවසන් පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනිම ලකුණු 300න් එපිටට ගෙන ගිය නවිඳු නොදැවී ලකුණු 80ක් ලබා ඉනිම අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටින්නට සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකා යෞවනයන් පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 307ක් රැස් කරන ලදී.

ලකුණු 99ක් පසුපසින් දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත යෞවනයන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු සහනයක් ලැබුනේ නම් නැත. එංගලන්ත පළමු ඉනිම කඩා දැමීමට අණදෙන නිලධාරියා බවට පත්වූ ලහිරු කුමාර, එම ඉනිමේ නොදැවී ශතකයක් ලබා ගත් එංගලන්ත නායකයාව එක් ලකුණකට දවාගන්නට සමත් විය.

දෙවන දිනය අවසන් වනවිට එංගලන්ත ලකුණු පුවරුව 24/1ක් ලෙස දැක්විය. ලහිරු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බල ඇණිය අද (05) දිනයේදීත් ක්‍රියාත්මක වුවහොත් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමට ඔවුන්ට හැකිවනු ඇත.

ලකුණු පුවරුව.

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී 208 (82.2) මැක්ස් හෝල්ඩන් – 111*, ඔලී වෙස්ට්බරි – 45, එඩ් බාන්ස් – 16, අමර් විර්දී – 16, ලහිරු කුමාර – 7/82, වනිඳු හසරංග – 1/6, ජෙහාන් ඩැනියල් – 1/27, තිලාන් ප්‍රසාන් – 1/33

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී – 307 (84) නවිඳු විතානගේ -80*, ජෙහාන් ඩැනියල් – 52,  අවිශ්ක ප්‍රනාන්දු – 49, චරිත් අසලංක – 33, එඩ් බාන්ස් – 3/38, ජෝජ් පනායි  – 3/51

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවන ඉනිම – 24/1 (6) ඔලී වෙස්ට්බරි – 18*, ලහිරු කුමාර – 1/7

දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත වයස අවුරුදු  19න් පහල කණ්ඩායම තවත් කඩුලු 9ක් අතැතිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 75ක් පසුපසින් සිටියි.

අද (05) තරගයේ 3වන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට