ලහිරුගේ වේග පන්දුව එංගලන්ත ඉනිම සුණු විසුණු කරයි

532
Sri Lanka U19 v England u19 2nd Youth test day 1

ශ්‍රී ලංකා – එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ වූයේ නොදම්ප්ටන්හී දී. කණ්ඩායම් දෙක අතර පැවති පළමු යොවුන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ පාලනය එංගලන්ත පිතිකරුවන් හිමි කරගත් ආකාරයෙන්ම, මෙම තරගයේ පළමු දිනයේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ හිමිවූයේ ලහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ටයි.

පසුගිය ලිපි: යොවුන් පිතිකරුවෝ තරගය බේරා ගනියි

තරගයේ කාසියේ වාසිය දිනාගත් චරිත් අසලංක පන්දු යැවීම තෝරා ගන්නා ලදී. පළමු තරගයේදී ලකුණු 196ක් රැස් කළ ඔලී වෙස්ට්බරි මේ තරගයේදීත් විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේ නායක මැක්ස් හෝල්ඩන් සමග එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 91ක සබඳතාවක් ගොඩ නගමිනි. වෙස්ට්බරි රැස් කළ ලකුණු සංඛ්‍යාව 45කි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව එළඹුණේ ලහිරු කුමාරගේ විනාශකාරී හෝරාවයි. පැයක් ඇතුලත එංගලන්ත යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 91/0 සිට 102/5 ක් දක්වා වෙනස් කරන්නට ලහිරු සමත් විය. 6වන කඩුල්ල ලෙස ජෝෂ් මැකෝයි දැවී යන විට එංගලන්ත යොවුන් ක්‍රීඩකයන් ලබා ගෙන සිටියේ ලකුණු 106ක් පමණයි.

එංගලන්ත යොවුන් කණ්ඩායමේ අංක 3 සිට 7 දක්වා පිතිකරුවන් 5 දෙනාම එක්ව ලබා ගෙන තිබුණේ එක් ලකුණක් පමණක් වීම ඔවුන්ගේ මැද පෙළ කඩා වැටීමට කදිම නිදසුනකි. නායක මැක්ස් හෝල්ඩන් අනෙක් අන්තයේ හුදකලා සටනක නිරත වෙද්දී ඔහුගේ සහයට පැමිණියේ පසු පෙළ පිතිකරුවන් පමණයි. ඔවුන්ගේ සහය ඇතිව අගනා ශතකයක් වාර්තා කල හෝල්ඩන් අවසන් පිතිකරුවා දැවී යනවිට ලකුණු 111ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය. ලහිරු කුමාර පසුපෙළ කඩුලු 2කුත් තම නම ඉදිරියේ සටහන් කර ගන්නා ලදී. අවසන් කඩුල්ලට නායකයා සමග එක්වූ අමර් විර්දී ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගුවේ එංගලන්තය ලකුණු 200 සීමාවෙන් එපිටට ගෙන යමිනි.

කෙසේ වෙතත් මේ සබඳතාව බිඳ දැමූ ජෙහාන් ඩැනියල් එංගලන්ත යොවුන් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 208කට සීමා කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 9ක් ලබා සිටි ඩිලාන් ජයලත් දැවී ගියේ ජෝජ් පනායිගේ පන්දුවක් හමුවේයි. කෙසේ වෙතත් දිනය අවසන් වන තෙක් තම කඩුලු ආරක්ෂා කර ගනිමින් දිනයේ වාසිය ශ්‍රී ලංකාව සතුවම පවත්වා ගන්නට නායක චරිත් අසලංක සහ උප නායක අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.

අද දිනයේදී පිතිකරුවන් සිය වගකීම මැනවින් ඉටු කළහොත් තරගයේ පාලනය තමන් සතු බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා යෞවනයන්ට හැකි වනු ඇති.

ලකුණු පුවරුව

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී 208 (82.2) මැක්ස් හෝල්ඩන් – 111*, ඔලී වෙස්ට්බරි – 45, එඩ් බාන්ස් – 16, අමර් විර්දී – 16, ලහිරු කුමාර – 7/82, වනිඳු හසරංග – 1/6, ජෙහාන් ඩැනියල් – 1/27, තිලාන් ප්‍රසාන් – 1/33

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – 48/1 (11) චරිත් අසලංක – 20*, අවිශ්ක ප්‍රනාන්දු – 10*, ජෝජ් පනායි  – 1/13

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තවත් කඩුලු 9ක් අතැතිව එංගලන්ත යොවුන් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 160ක් පසු පසින් සිටියි.

අද තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට