හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවතට!

10983

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇති බව ThePapare.com වෙත විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී තිබේ. 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු වන ජෙරොම් ජයරත්න මහතා නවසීලන්තය සංචාරය නිමා වන තුරු අන්තර්වාර ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වය භාර ගනු ඇත. මීට පෙර ද 2015 වසරේ දී මාස හතරක කාලයක් සඳහා ජයරත්න මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චන්දික හතුරුසිංහ මහතා 2017 වසරේ දෙසැම්බර් මාසයට පසුව වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත විය. ඔහුගේ නිල කාලය නිමා වීමට තිබුණේ 2020 වසරේ දී ය. 

කෙසේ වෙතත් එළඹෙන දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුව නිමා කරනු ඇත. නමුත් හතුරුසිංහ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක මතයකට නොපැමිණීම නිසා හතුරුසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බවත් වාර්තා වේ.

ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා හදිසියේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැර යාම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි වෙහෙසකින් අනතුරුව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාව වෙත රැගෙන ආවේ බංගලාදේශයේ සාර්ථක ධුර කාලයක් ක්‍රියාත්මක කරමින් සිටිය දීයි.

ඒ නිසාම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වැටුපක් හිමිවන පුහුණුකරුවා බවට පත් වූ නමුත් මේ වසර මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ බලය තරමකට සීමා කළේ විදේශ සංචාරවල දී තේරීම් කමිටුවට සහභාගී වීමට ඔහුට ඇති අයිතිය අත්හිටුවමින්.  

හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 16කින් තරග 6ක් ජයග්‍රහණය කළේ තරග හතක් පරාජය වෙමින්. ඔහුගේ ධූර කාලය තුළ දැක්වූ විශාලතම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ මෙරට දී මෙන්ම දකුණු අප්‍රිකාවේදීත් දකුණු අප්‍රිකාව අන්ත අසරණ කරමිනි. කෙසේ වෙතත් හතුරුසිංහ යටතේ එක්දින ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකාව එතරම් සාර්ථක වූයේ නැත. 

  තරග ජයග්‍රහණ පරාජයන්  සමවීම්  ප්‍රතිඵලයක් රහිත 
ටෙස්ට් 16 6 7 0 3
එක්දින 39 14 24 0 1
විස්සයි විස්ස 12 4 7 1 0

*චන්දික හතුරුසිංහ යටතේ 2018 ජනවාරි 1 සිට 2019 ජූලි 31 දක්වා

පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගාවලියට පිවිසීම අසමත් වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ බංගලාදේශ තරගාවලියට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලය සිය ධුරවලින් ඉවත්ව යළි ඇගයීමකට භාජනය විය යුතු බවයි.

පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් තවත් පැය 24ක කාලයක් ඉල්ලා සිටියේ ඔහුගේ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චන්දික හතුරුසිංහ මහතා සමඟ නිල වශයෙන් ඒකමතික තීරණයකට පැමිණීමට අසමත් වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ නවසීලන්ත තරගාවලිය ආරම්භ වීමට පෙර හතුරුසිංහ මහතා පුහුණුකරු ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

සති දෙකක් ඇතුළත හොඳම පුහුණුකරුවෙකු ලංකාවට? ක්‍රීඩා ඇමතිගෙන් ඉඟියක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ වෙනසක් සිදු කිරීමට…..

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලුවේ නැහැ ඔහුව අයින් කරන්න කියලා, මට ඕන වුණේ ඔහුගේ කොන්ත්‍රාත්තුව යළිත් සලකා බලන්න, ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා නොදෙන්නේ නම් ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉදිරියටම ගෙන යාම අසාධාරණයි” ක්‍රීඩා අමාත්‍යවරයා සඳුදා පවසා තිබුණා.

හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නැවතත් බංගලාදේශයට යනු ඇතැයි ද වාර්තා වේ. 

2011 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවන් 11 දෙනෙක් සිය දායකත්වය ලබා දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ද පසුගිය දා මාධ්‍ය හමුවක දී පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම මෙම පුහුණුකරුවන් මාරු වීමේ ක්‍රියා කලාපය සිදු කළ බවයි.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් තරග දෙකක් හා විස්සයි විස්ස තරග තුනක් එළඹෙන අගෝස්තු 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<