මාලින්ද පුෂ්පකුමාරගෙන් කඩුලු 7ක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1163
Malinda Pushpakumara

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දඹුලු කණ්ඩායම නියෝජනය කරමින් වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර අද (18) මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

එය මාලින්දගේ පළමුපෙළ ක්‍රිකට් දිවියේ ඉනිමක දී කඩුලු 5කට වැඩියෙන් දවා ගත් 67 වැනි අවස්ථාවයි. තම 142 වැනි පළමුපෙළ තරගයට ක්‍රීඩා කරන මාලින්ද එම ඉනිම අවසන් වන විට පළමු පෙළ කඩුලු 806ක් වාර්තා කිරීමට සමත් වුනා.

මහනුවර සහ දඹුල්ල

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 446ක් රැස් කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයන් තරගය දෙවැනි දිනයට අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 77ක් වාර්තා කරගෙන සිටියා.

මහනුවර ක්‍රීඩකයන් පෙර දිනයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 297ක් රැස් කරගෙන සිටි අතර ඒ වන විට කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් ද, ලහිරු උදාර නොදැවී ලකුණු 22ක් ද වාර්තා කරගෙන සිටියා.

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 188ක දී ලකුණු 151ක සබඳතාවක් එක් කළා. දිනයේ පළමුවෙන්ම දැවී ගිය ලහිරු උදාර පන්දු 117කට මුහුණ දෙමින් ලකුණු 83ක් රැස් කරගත්තා.

අනතුරුව ශතකය ආසන්නයට පිවිසි නායක කමිඳු මෙන්ඩිස් පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 94ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා.

ඉනිමේ පන්දුවාර 43.5ක් යැවූ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 120කට කඩුලු 7ක් දවා ගනිමින් දඹුලු කණ්ඩායමේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වුනා. ඊට අමතරව පවන්ත වීරසිංහ, ලහිරු සමරකෝන් සහ අම්සි ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තා.

දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑමට පිටියට පිවිසි දඹුලු ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 19ක් වන විට දවා ගැනීමට මහනුවර පන්දු යවන්නන් සමත් වුනා.

අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය දෙවැනි දිනයට නතර කරන විට දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලෙස දැක්වුනු අතර අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 19ක් සහ නායක මිනෝද් භානුක නොදැවී ලකුණු 37ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී  ආරම්භක වේගපන්දු යැවූ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත් අතර අශේන් ඩැනියෙල් එක් කඩුල්ලක් දවා ගත්තා.

මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී 446 (128.5): කමිල් මිෂාර 74, ලසිත් කෲස්පුල්ලේ 43, ඕෂඳ ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94,, ලහිරු උදාර 83, මාලින්ද පුෂ්පකුමාර 7/120.

දඹුල්ල – පළමු ඉනිම (දෙවැනි දිනයට නතර කරන විට) කඩුලු 3ක් දැවී 77 (23.3): අශාන් ප්‍රියංජන් නොදැවී 19, මිනෝද් භානුක නොදැවී 37, අසිත ප්‍රනාන්දු 2/25.

ගාල්ල සහ යාපනය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ගාලු ක්‍රීඩකයන් කිසිවෙකු නොදැවී ලකුණු 113ක් වාර්තා කරගෙන සිටියා.

ඒ කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු 254ට පිළිතුරු ලෙසින්.

යාපනය ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී ලකුණු  218ක් රැස් කරගෙන සිටිමින් දෙවැනි දිනයට පිටියට පිවිසි අතර එහි දී ඔවුන්ගේ ලකුණු පුවරුව තවත් ශක්තිමත් කිරීමට අවසන් පිතිකරු නුවන් ප්‍රදීප්ගේ පිතිහරඹය හේතු වුනා. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් රැස් කරගත්තා.

යාපනය ඉනිම අවසන් වන විට සුමින්ද ලක්ෂාන් ලකුණු 28කට කඩුලු 4ක් ද, ඩිල්ශාන් මධුශංක සහ චලන ද සිල්වා කඩුලු 2 බැගින් ද, මොහොමඩ් ශිරාස් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන්ගේ ඉනිම පැවතියේ 31 වැනි පන්දුවාරය දක්වා පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය නිමා කිරීමට ඔවුන්ට සිදු වුනා. ඒ වන විට ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 113ක් වාර්තා කරගෙන සිටියා.

ආරම්භක පිතිකරුවන්ගේ එම සබඳතාවේ දී සංගීත් කුරේ පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද, පබසර වඩුගේ පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද රැස් කරගෙන සිටියා.

යාපනය පළමු ඉනිම සියලු දෙනා දැවී 254 (83.5): නිශාන් මධුශ්ක 29, නවෝද් පරණවිතාන 34, සමින්ද ප්‍රනාන්දු 27, සංතුශ් ගුණතිලක 28, කල්හාර සේනාරත්න 29, නුවන් ප්‍රදීප් නොදැවී 37, ඩිල්ශාන් මධුශංක 3/51, චලන ද සිල්වා 2/72, සුමින්ද ලක්ෂාන් 4/28.

ගාල්ල පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට) කිසිවෙකු නොදැවී 113 (30.4): සංගීත් කුරේ නොදැවී 58, පබසර වඩුගේ නොදැවී 51.

මෙම තරග දෙකම හෙට (19) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<