පළමු ඉනිම පරාජය වූ ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී හිස ඔසවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

9740
Sri Lanka tour of West Indies 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස පැවති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අද (19) අවසන් වුනා.

Antigua හි Coolidge ක්‍රිකට් පිටියේ පැවැත්වෙන මේ තරගයේ දෙවන දිනය ආරම්භ වන විට කොදෙව් සභාපතිගේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 103ක් ලබාගෙන සිටියා. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි Shai Hope සහ Darren Bravo පිළිවෙළින් ලකුණු 60*ක් සහ ලකුණු 30*ක් ලබාගෙන සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

දෙවන දිනයේ පළමු කඩුල්ල ලෙස 4 පහර 6ක් සමඟ ලකුණු 30ක් ලබා සිටි Darren Bravo දවා ගැනීමට සමත් වූ සුරංග ලක්මාල් දිනය සඳහා සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. අනතුරුව ඉන්පසු පන්දුවාරයේ දී 4 පහර 11ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 68ක් ලබාගෙන සිටි Shai Hopeගේ කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුනා.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක යම් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට Shamarh Brooks සහ Kyle Mayers සමත් වුනා. කොදෙව් සභාපතිගේ කණ්ඩායමේ මුල් ඉනිමේ මැදපෙළ තවදුරටත් සවිමත් කළ නායක Roston Chase ලකුණු 52ක් ලබා ගන්නා විට Kyle Mayers ලකුණු 57ක් ලබා ගත්තා. Kyle Mayersගේ ඉනිම සඳහා 4 පහර 11ක් ඇතුළත් වන විට, Roston Chaseගේ ඉනිම සඳහා 4 පහර 8ක් ඇතුළත් වුනා.

අවසානයේ දී කොදෙව් සභාපතිගේ පළමු ඉනිම ලකුණු 294කට සීමා කිරීමට ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

ලකුණු 122ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේ දී මෙන් අසාර්ථක නොවී පළමු කඩුල්ල සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් යම් ගෞරවාන්විත මට්ටමකින් තරගය අවසන් කිරීමට සමත් වුනා. එහි දී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 27*ක් ලබා ගන්නා විට, ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 23*ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 172 (49.3): ඕෂද ප්‍රනාන්දු 47, දිනේෂ් චන්දිමාල් 40, පැතුම් නිස්සංක 23, Roston Chase 4/12, Anderson Phillip 3/47.

කොදෙව් සභාපතිගේ පිල පළමු ඉනිම – 294 (81.2): Shai Hope 68, Kyle Mayers 57, Roston Chase 52, Darren Bravo 30, ධනංජය ද සිල්වා 3/26, ලසිත් ඇඹුල්දෙණිය 3/69, සුරංග ලක්මාල් 2/14.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම – 56/0 (13): දිමුත් කරුණාරත්න 27*, ලහිරු තිරිමාන්න 23*.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 21 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<