ශ්‍රී ලංකා පිතිකරණය බිඳ වැටෙද්දී පැතුම්ගෙන් සටන්කාමි පිතිකරණයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

263
Getty Images

සංචාරක ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය (31) Sir Vivian Richards ක්‍රීඩා පිටියේ දී අවසන් වුනා.

ඒ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබාගෙන සිටිනවා. පැතුම් නිස්සංක නොදැවුණු පිතිකරණයක් නිරත වෙමින් ලකුණු 49ක් ලබාගෙන සිය අර්ධ ශතකය ආසන්නව සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

තරගයේ තුන්වැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සටහන 136/3ක් ලෙස සටහන් වුනා. එවැනි අසීරු මට්ටමක සිටි ශ්‍රී ලංකා ලකුණු සටහන වෙනුවෙන් පැතුම් නිස්සංක ශ්‍රී ලංකා මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකා ලකුණු සටහන 250 සීමාව වෙත රැගෙන ඒමට සමත් වුනා. එහි දී දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ද පිළිවෙළින් ලකුණු 44ක් සහ ලකුණු 39ක් ලබා ගනිමින් දස්කම් අතරට පැමිණියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම තුල දැනට ගොඩනැංවුණු හොඳම සබඳතාවය ගොඩනැංවූ චන්දිමාල් සහ ධනංජය සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළත්, චන්දිමාල්ගේ කඩුල්ල දවා ගනිමින් එම සබඳතාවය අවසන් කිරීමට Shannon Gabriel සමත් වුනේ චන්දිමාල්ගේ අර්ධ ශතකය ද අහිමි කරමිනි. චන්දිමාල්ගේ එම ඉනිම සඳහා 4 පහර 6ක් ඇතුළත් වුනා.

පසුව නිස්සංක සමඟ එක්ව ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් කරමින් සිටි ධනංජය ද සිල්වා Jermaine Blackwoodගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවෙක් ලෙස පිටියේ විනිසුරුවරුන් විසින් නම් කළා.

ධනංජය ද සිල්වා විනිසුරුගේ තීරණය සඳහා හිස නමමින් ක්‍රීඩාගාරය වෙත හැරී ගිය ද පසුව දැකගන්නට ලැබුණු පුනරූපනවලට අනුව එය කඩුල්ල හැර යන පන්දුවක් බවට පෙනුණා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථා තුනක් අතැතිව තිබුණු නමුත් ධනංජය හට ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ.

කොදෙව් පන්දු යවන්නන් හමුවේ ඉතාමත් ඉවසිලිවන්ත ලෙස සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙන නිස්සංක කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සමඟ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් සබඳතාවයක් ගොඩනැංවීමට උත්සහ කළ ද, නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම සඳහා ලකුණු 20 දී නැවතීමේ තිත තැබීමට Jason Holder සමත් වුනා.

තරගයේ තුන්වැනි දිනය සඳහා ද වර්ෂාවෙන් බාධා එල්ල වුනු නිසා දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පන්දුවාර ප්‍රමාණයෙන් ක්‍රියාත්මක කර ගැනීමට හැකි වුනේ පන්දුවාර 42කුත් එක් පන්දුවක් පමණයි. සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර නිස්සංක වෙත සහය ලබා දෙමින් පිළිවෙළින් ලකුණු 6ක් සහ ලකුණු 2ක් ලබා ගත්තා. Jason Holder සහ Alzarri Joseph කඩුලු දෙක බැගින් දවා ගනිමින් දැනට පන්දුවෙන් දස්කම් දක්වා තිබෙනවා.

තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබාගෙන සිටින්නේ කොදෙව් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 104ක් පසුපසින් සිටිමිනි. අද (1) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 මේ තරගයේ සිව්වැනි දිනය ආරම්භ වෙනවා.

>>Full Scorecard<<

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<