වසර 3කට පසුව Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයේ

Dialog – SLESA ජාතික Esports සම්මාන 2023

259

ශ්‍රී ලංකාවේ Esports ශූරයන් ඇගයීමට ලක්කරමින් පැවති “හත්වැනි Dialog – SLESA ජාතික  Esports සම්මාන උළෙල” ඉකුත් දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

Gamer.LK සහ තවත් ප්‍රමුඛ පෙළේ Esports සංසද හතරක් විසින් රට තුළ Esports ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව වර්ෂ 2010 දී ශ්‍රී ලංකා Esports සංගමය පිහිටුවන ලදි. මෙරට යොවුන් Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නීතිරීතිවලට අනුකූලව රට තුළ Esports ස්ථාපිත කිරීම පිණිසත් ශ්‍රී ලංකා Esports සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.

2013 දී ආරම්භ වූ ජාතික Esports සම්මාන උළෙල, රට තුළ පැවති වසංගත තත්වය නිසා වසර තුනක විරාමයකින් පසු මෙලෙස නැවත පැවැත්වීමට යෙදුණු අතර, එහි දී 2019, 2020, 2021 සහ 2022 වසරවල සිය දක්ෂතා පෙරට රැගෙන ගිය Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට හා ගෞරවයට පාත්‍ර විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩා දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ  පුරෝගාමී ප්‍රවර්ධකයෙකු වන  Dialog Axiata PLC සමාගම,මෙරට තාරුණ්‍යයට Esports ක්ෂේත්‍රයත් සමඟ එක්වීමටත්, එහි දක්ෂතා දියුණු කරගැනීමත් උදෙසා බලගන්වමින් ‘ශ්‍රී ලංකා Esports’ හි සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් විය.

අනාගතයේ දී Esports සඳහා සුවිශේෂී වැදගත්කමක් හිමිවන බවට හඳුනා ගෙන තිබෙන Dialog සමාගම, ශ්‍රී ලංකාව තුළ Esports බලගැන්වීම සඳහා දශකයකට වැඩි කාලයක් තිස්සේ කැප වී සිටියි. දේශීය Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අත්‍යවශ්‍ය කුසලතා පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලාංකිකයන් අතරට Esports රැගෙන යාමට සහාය වීම Dialog සමාගමේ අරමුණයි.

Dialog – SLESA ජාතික Esports සම්මාන උළෙලේ දී 2019, 2020 සහ 2021 යන වසරවල හොඳම දක්ෂතා දැක්වූ Esports ක්‍රීඩකයන් සහ සංසද ඇගයීමට ලක් කළ අතර, 2022 වසරේ ජයග්‍රාහී Esports ක්‍රීඩකයන් සහ සංසද සඳහා සම්මාන ප්‍රදානය කිරීම ද සිදු විය. 2022 වසරේ හොඳම Esports සංසදය ලෙසින් Maximum Esports කිරුළ දරද්දී, එහි සාමාජිකයන් බොහෝ දෙනෙක් ඒකල දක්ෂතා වෙනුවෙන් සම්මාන දිනා ගත්හ.

මෙම සම්මාන උළෙලේ දී ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ Esports ක්‍රීඩකයන් 39 දෙ‍නෙකුට ජාතික වර්ණ ප්‍රදානය කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ එවැන්නක් සිදු වූයේ පළමු වරට වීම විශේෂත්වයකි. මීළඟ පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් Esports සඳහා යොමු කිරීමටත්, ඔවුන්ගේ දක්ෂතා විශිෂ්ටත්වයේ උපරිමය දක්වා ගෙන එමින් ඔවුන් දිරිගැන්වීමටත් මෙම Esports සම්මාන මනා පිටිවහලකි.

මෙහි දී ශ්‍රී ලංකා Esports හි සභාපති රවීන් විජයතිලක මහතා අදහස් දක්වමින්, “ඕනෑම ක්‍රීඩාවක හරය වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරගකාරී සංවිධානයි. ශ්‍රී ලංකා Esports  ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා දක්වන්නන් සහ ඊට ඉහළම දායකත්වය සපයනු ලබන්නන් ඇගයීමට ශ්‍රී ලංකා Esports සැමවිටම උත්සාහ කරනවා. Dialog-SLESA ජාතික Esports සම්මාන උළෙලේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගය කරමින් ඔවුන් තව තවත්  සවිබල ගන්වනවා වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දේශීයව හා ජාත්‍යන්තරව පෙන්වා ඇති  දක්ෂතා අගය කරනවා,” යැයි පැවසීය.

“මේ වසරේ සියලුම ජයග්‍රාහකයින්ට සුබ පතන්නට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ  වගේම Sri Lanka Esports හි අනුග්‍රාහකයා වීම පිළිබඳව Dialog සමාගමේ අපි ආඩම්බර වෙනවා. දේශීය Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමට සහ අනාගත ක්‍රීඩාව වශයෙන් Esports ප්‍රවර්ධනය කිරීමට අපගේ සහයෝගය නිරතුරුවම ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් Dialog Axiata PLC සමූහ අලෙවි හි සන්නාම හා මාධ්‍ය අංශයේ උප සභාපති හර්ෂ සමරනායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩාව බවට Esports පත් කිරීම  වෙනුවෙන් ශ්‍රී ලංකා Esports දැඩි උද්යෝගයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ඇප කැප වී සිටියි. ශ්‍රී ලංකා Esports හි අරමුණ වන්නේ Dialog සහ අනෙකුත් හවුල්කාර පාර්ශවයන්ගේ ද සහයෝගය ඇතිව, Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ජාත්‍යන්තරව ඉහළම මට්ටමින් තරග කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරදීමයි.

Dialog Axiata ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, පාසල් රග්බි හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට ද කටයුතු කර ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<