Ryan Rickelton මංගල ටෙස්ට් ශතකය කරා

Sri Lanka Tour Of South Africa 2024

68
Sri Lanka Tour Of South Africa 2024 2nd test match day 0

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (05) දිනයේ දී ආරම්භ වූ අතර, තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායකයා විසින් තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව දකුණු අප්‍රිකානුවන් ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් පිටියට පිවිසුණත් එය බලාපොරොත්තු වූ තරම් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙහි දී දකුණු අප්‍රිකානු ආරම්භක කඩුලු ත්‍රිත්වය ම ලකුණු 44ක් තුළ දවා ගැනීමට  ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා. කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලෙ එක් වූ Ryan Rickelton සහ නායක Temba Bavuma තරගය නැවතත් දකුණු අප්‍රිකාව වෙතට හැරවීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, අසිත ප්‍රනාන්දු විසින් එම සබඳතාව බිඳ දැමීමට සමත් වුනා. මෙහි දී නායක Bavuma විසින් පන්දු 109කින් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඉන් පසුව ඉනිමේ පස් වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව Ryan Rickelton සමඟ කඩුල්ලේ එක් වූ Kyle Verreynne නැවතත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 77ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Ryan Rickelton විසින් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 250ක් වැය කරමින් ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලෙස ද වාර්තා අතරට එක් වුනා.

තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි Kyle Verreynne ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් වූ ලහිරු කුමාර කඩුලු 3ක් දවා ගන්නා අතරේ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය අද (06) ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<