රංගන මොකද කරන්නේ?

1397
Rangana Herath

ලෝක ටෙස්ට් වමත් දඟයන් අතුරින් වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ හෙලා ඇති රංගන හේරත් කඩුලු ලබා ගැනීම සඳහා අනුගමනය කරන්නේ කුමන විශේෂ උපක්‍රම ද? මෙය ප්‍රතිවාදීන් විසින් දිගින් දිගටම සැලකිල්ලට බඳුන් කරන ගැටලුවක් වුවත්, රංගනගෙන් ගැලවීම එතරම් පහසු කරුණක් නොවේ. ඉන්දියානු, පාකිස්තානු ආදී දඟපන්දුවලට එරෙහිව හොඳින් පහරදෙන කණ්ඩායම් වුවත් ඔහු හමුවේ අසරණ ය.

මේ වන විට ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන දෙක හිමිව ඇත්තේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා සහ ශ්‍රී ලංකාවේ රංගන හේරත්ට යි. ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර ඉහළ රැඳෙන්නට නම් වඩා වැදගත් වන්නේ කඩුලු ලබා ගැනීමයි. 39 හැවිරිදි රංගන හේරත් මෙහි කප්පිත්තෙකි. එහෙත් ඔහුට කඩුලු ලබා ගැනීමේ අද්භූත පන්දු කිසිවක් නැත. තිබුණත් ඔහුට ඒවා ‍උවමනා නැත. කඩුලු ලබා ගැනීමට දුස්රා, කැරම් පන්දු අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බව ඔහු විසින් ඔප්පු කර ඇත. ඔහු කඩුලු ලබා ගන්නේ කෙසේද?

දඟපන්දු යවන්නෙකුගේ මූලික පියවරයන් වන්නේ පිතිකරුවා වෙත පන්දුව ගුවනේ පා කර යවමින් පිතිකරු ඉදිරි පාදයට කැඳවා ගැනීමයි. මීට දඟකැවීමද එකතු කර ගත හැකි නම් එම දඟපන්දු යවන්නා උප මහාද්වීපික තණතිලි මත කඩුලු ලබා ගන්නෙකු වීම සහතිකය. රංගන මෙහි සැබෑ සුරුවෙකි. ඔහුව ලෝක මට්ටමේ දැවැන්තයෙකු කරන්නේ මේ මූලික පියවරයන්ට එක්කරගත් තවත් අත්දැකීම් කිහිපයක් ය.

කුරුණෑගල මලියදේවයෙන් උපන් රංගනට අව්රශ්මිය මධ්‍යයේ ක්‍රීඩා කිරීම හෝ දුහුවිලි සහිත තණතිලි මත පන්දු යැවීම අමුතුවෙන් ඉගැන්විය යුතුව තිබුණේ නැත. එහෙත් 1999 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්නා විට ඔහු ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තිබුණි. ඒ ලොව සාර්ථකම ටෙස්ට් කඩුලු ලබන්නා වූ මුත්තයියා මුරලිදරන් ය. එහෙත් මුරලි එක අන්තයකින් පන්දු යවද්දී රංගන අනෙක් අන්තයෙන් කඩුලු කිහිපයක් ලබා ගත්තේය.

එහිදී ඔහු යොදාගත් කැරම් පන්දුව ගැන බොහෝ දෙනා කතාබහ කළ නමුත් ශ්‍රී ලංකාවට ඒ කිසිවක් නොවැදගත් වූයේ ඊළඟ තරග කිහිපයේදී රංගනට කඩුලු ලබා ගැනීම අපහසු වීම නිසයි.

එහෙත් තවත් වසර කිහිපයකදී ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ලීගය නියෝජනය කරමින් අත්දැකීම් රැසකින් පෝෂණය වූ ඔහු අවබෝධ කොට ගත්තේ වමත් දඟපන්දු යවන්නෙකු වශයෙන් විකට්ටුව තුළට පන්දු යැවීම වඩා ඵලදායී බවයි. සාපේක්ෂ වශයෙන් ගත්කල රංගන විසින් පිතිකරුට අත්හැර දැමිය හැකි පන්දුවක් නොලැබෙන තරම් ය.

දක්ෂ දඟපන්දු යවන්නෙකු වන රංගන සැබෑ “කපටියෙකි”. පන්දුව දඟ කැවෙන තණතිල්ලක වේවා, දඟ නොකැවෙන තණතිල්ලක වේවා ඔහුගේ පළමු පන්දුව බොහෝ විට හරහට දඟකැවෙන්නකි. එය දකින පිතිකරු වික්ෂිප්ත වන්නේ තණතිල්ලේ ස්වභාවය සම්පූර්ණයෙන්ම රංගනට වාසිදායක බවට සිතුවිල්ලක් ගොඩනගා ගනිමිනි. අවසානයේ දී පිතිකරු තමන්ගේ වළ කපාගන්නේ තමන් විසින්මය.

එමෙන්ම දඟ කැවෙන පන්දු සේම දඟ නොකැවෙන පන්දු යැවීම තමන්ගේ වාසියට හරවාගත් රංගන ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු හමුවේ පවසා තිබුණේ “පන්දුව දඟකැවෙන අන්තය තමාද නොදන්නා බව”යි. ඇත්තෙන්ම අද ඔහු සතු භයානකම ආයුධය එයයි. දඟකැවෙන පන්දුවක්, දඟ නොකැවෙන පන්දුවක් වශයෙන් පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් නොකරම යැවිය හැකි ඔහුට ඕවර් ස්පින් (පන්දුව ඉහතින් දඟ කවන) සහ අන්ඩර් ස්පින් (පන්දුව පහතින් දඟ කවන) පන්දුද යැවිය හැකිය. මේ සියල්ලට වඩා වැදගත් වන්නේ ඔහුගේ ඉලක්කයයි. පන්දුව දඟකැවෙන අන්තය නොදන්නාකම කිසිදු ගැටලුවක් නොවන්නේ එබැවිනි. දැවීයාම හෝ ආරක්ෂා වීම සම්පූර්ණයෙන්ම පිතිකරුට භාර දෙන රංගන තම ඉලක්කයෙන් එපිටට යාම සිදුකරන්නේ තමන්ට අවශ්‍ය නම් පමණ ය.

සාර්ථක ටෙස්ට් පන්දු යවන්නෙකු බිහිකරන්නේ ඉවසීමයි. කණ්ඩායමට එක්වීමට ඉවසනවා සේම කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ද ඉවසීම අතිශය වැදගත් ය. රංගනට මෙය මැනවින් පිහිටා ඇත. පිතිකරු නොඉවසන තෙක්ම එකම තැනකට පන්දුව යොමු කිරීමේ ශක්තිය ඔහු සතුය. හයේ පහරක්, දෙකක්, හතරේ පහර 3ක් දුටු විගස ඉලක්කයෙන් පිට ගොස් සැලසුම් අනාගැනීම රංගනගේ ක්‍රමය නොවේ. හයේ පහර එල්ල වූයේ කුමන පන්දුවටද, මීළඟ පන්දුව ගුවනට මුසුකළ යුතු ආනතිය කුමක් විය යුතු ද යන්න පහසුවෙන් තර්කනය කිරීමේ හැකියාව ඔහු සතුය. පන්දුවේ ඉලක්කය කිසිසේත්ම වෙනස් නොකර ආනතිය පමණක් යම් ප්‍රමාණයකට වෙනස් කිරීමෙන් ඔහු ලද කඩුලු ප්‍රමාණය බොහෝ යි.

ඔහු සතු තවත් අවියක් නම් පන්දුව මුදාහරින කෝණය යි. විටෙක උරහිසට ඉහළින් පන්දුව මුදාහරින ඔහු තවත් විටෙක තිරස් ආකාරයට තම වමත ගෙන යමින් පන්දුවේ දඟකැවීම පාලනය කරයි. ඉන් සමහරක් පන්දු දඟකැවෙන අතර සමහරක් දඟනොකැවේ. පිතිකරුට මෙය තෝරා බේරා ගැනීමට ඇත්තේ තත්පරයෙන් දශම කිහිපයක් පමණි. ලෝක ප්‍රකට දඟපන්දු හසුරුවා ගැනීමේ විශේෂඥයන් වූ මිස්බා උල් හක්, යුනිස් ඛාන්, විරාත් කෝලි ආදීන් වුවද රංගන ඉදිරියේ අසරණ වීමට හේතුව එයයි.  

ඔහුගේ ආයුධ ගබඩාව එතෙකින් අවසන් නොවේ. ගුවනට මුසුවූ පන්දුවලට ඉදිරියට පැන පහරවල් එල්ල කරන හෝ ස්වීප් පහරවල් එල්ල කරන පිතිකරුවන් ඔහුට හමුවන්නේ අදක ඊයෙක සිට නොවේ. ඔවුන්ට වේගයෙන් පන්දු යැවීමටත්, විකට්ටුවෙන් පිටතට පන්දුව යැවීමටත් රංගන පසුබට වන්නේ නැත.

අනෙක් කරුණ නම්, ඔහු පන්දු යැවීමේ දී පන්දු යවන අන්තයේ සිට ඔහු විසින් ඉලක්ක කෙරෙන්නේ දකුණත් පිතිකරුවන්ගේ පෙර පාදයේ මහපටැඟිලි වෙත යන රේඛාවයි. එය වමත් දඟපන්දු යවන්නෙකුට පහර දිය හැකි අපහසුම ආනතියක් ලෙසයි සැලකෙන්නේ. ඒ ඒ පිතිකරුවන්ට ඒ ඒ ආකාරයට උපක්‍රම යෙදිය යුතුය. එය රංගනට අලුත් දෙයක් නොවේ. ලෝක ප්‍රකට ක්‍රිකට් රචක ඇන්ඩ්රු ෆිඩෙල් ප්‍රනාන්දු පවසන පරිදි රංගනට ක්‍රිකට් ගැන ඇත්තේ විචක්ෂණශීලී ඇසකි.

ranga 1ඉන්දියා – ශ්‍රී ලංකා තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 26 වනදා ආරම්භ වේ. දෙපිල අවසන් වරට ටෙස්ට් පිටියේදී මුණගැසුණු 2015 සංචාරයේදී ඉන්දියානුවන්ට මේ සුපිරි දඟපන්දු යවන්නාගේ අභියෝගය හිමි වූ අතර පළමු තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 48කට කඩුලු 7ක් ලබා ගනිමින් රංගන සාර්ථක වූයේ ශ්‍රී ලංකාවට ජය ද රැගෙන එමිනි. තරගාවලිය පුරා කඩුලු 15කට හිමිකම් කියන්නට රංගන සමත් විය.

දිනේෂ් චන්දිමාල්ට නිව්මෝනියාව වැළඳීමත් සමඟ හිස්වූ නායකත්ව අසුන ද රංගනට හිමිවන්නේ හදිසියේමයි. දැනට ටෙස්ට් කඩුලු 384ක් ලබා කඩුලු 400 සීමාවට පියවරයන් 16ක් පසුපසින් සිටින රංගන කෙසේ තම අභියෝග ජය ගනියි ද?

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ හිදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දරා ඇති මේ බුද්ධිමත් ක්‍රීඩකයා එහිදී සාර්ථක වූයේ තරග දෙකෙන් දෙකම ජය ගනිමිනි. ඉන්දියානු අභියෝගය එතරම් පහසු නොවනු ඇතත් එය ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමුවැන්නා සහ දෙවැන්නා අතර පවතින ලකුණු 32 පරතරය එහා මෙහා වන තරගාවලියක් වනු ඇත.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න