පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්

Sri Lanka A Tour of Pakistan

116

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (12) දවස නිමා වන විට තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 77ක් ලබා සිටියා.  

ඒ ඔවුන් තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 115ට පිළිතුරු ඉනිම වෙනුවෙන් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 258කින් යුත් ඉනිමෙන් පසුව පසු පසින් සිටින ලකුණු 143ක් හඹා යෑමේදීයි.  

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 115ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සත්කාරක පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 66ක් ලබා සිටියදීයි.  

පෙර දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි Ali Zaryab (18) සහ Mohammad Suleman (11) අතුරින් අද පළමුවෙන් ම තම කඩුල්ල අහිමි කර ගන්නේ Mohammad Suleman. පෙර දිනයේ දී ද කඩුල්ලක් දවාගෙන සිටි විශ්ව ප්‍රනාන්දු තම ගිණුමට තවත් කඩුල්ලක් එක් කර ගනිමින් එම කඩුල්ල දවා ගන්නවා.  

ඒ හා සමඟ යැවුණ අනෙක් පන්දුවේ දී  Haider Ali ගේ කඩුල්ල ද දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශ්වසනීයත්වයක් එක් කිරීමට විශ්ව ප්‍රනාන්දු සමත් වෙනවා. එම කඩුලු ද්විත්වය දැවී යෑමත් සමඟින් පාකිස්තාන ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 90ක් ලෙසයි. 

නමුත් එතැන් සිට සාර්ථක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට Ali Zaryab, Hussain Talat සහ Rohail Nazir සමත් වුනා. ඒ අනුව Ali Zaryab පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ද, Hussain Talat පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ද සහ Rohail Nazir පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ද ලෙසින් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම පෝෂණය කළා.  

මේ අතුරින් Hussain Talat සහ Rohail Nazir එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් එක් කරමින් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වාර්තා කළා.  

කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යැවූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ඉසිත විජේසුන්දර සහ නිසල තාරක කඩුලු ද්විත්වය බැගින් ද සහ වනුජ සහන් සහ සොනාල් දිනූෂ කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

ලකුණු  143ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට  පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කෙරෙන්නේ, ඉනිමක පරාජයෙන් ගැලවීමට වීමට නම් තවත් ලකුණු 66ක් ලබා ගත යුතුවයි. ඒ සඳහා ඔවුන්ට තවත් කඩුලු 9ක් ඉතිරි ව ඇති අතර තරගය තවත් දින 2ක් පුරා පැවැත්වෙනවා. 

කෙසේ වෙතත් අද පස්වරුවේ ආරම්භ කළ ශ්‍රී ලංකා 2 වැනි ඉනිම ද එතරම් ම සුබදායි ආරම්භයකින් යුතු වූයේ නැහැ. සත්කාරක පාකිස්තාන ක්‍රීඩකයෝ යැවූ පළමු පන්දුවාරයේ දී ම ඔෂද ප්‍රනාන්දු කිසිදු ලකුණක් ලබා ගැනීමට ප්‍රථම ව දැවී යනවා.  

එතැන් සිට අනෙක් ආරම්භක පිතිකරු නිපුන් ධනංජය ට එක් වූ අහන් වික්‍රමසිංහ පාකිස්තාන පන්දු යවන්නන්ගේ කෙරුවාවන් මනාව ග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගොඩ නැගීමට පෙරමුණ ගැනීම තරමක ආශිර්වාදයක් වූවා. ඔවුන් දෙදෙනා එක් ව මේ වෙද්දී 2 වැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් එක් කර තිබෙනවා.  

එහි දී අහන් වික්‍රමසිංහ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ද සහ නිපුන් ධනංජය පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා සිටිනවා.  

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය Khurram Shahzad සතු වුනා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (33.1) පසිඳු සූරියබණ්ඩාර 28, සොනාල් දිනූෂ 30, විශාද් රන්දික 18, Khurram Shahzad 4/32, Kashif Ali 5/31 

 

පාකිස්තාන A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (82.1) Abdul Faseeh 26, Ali Zaryab 55, Mohammad Suleman 24, Hussain Talat 56, Rohail Nazir 55, විශ්ව ප්‍රනාන්දු 4/44, ඉසිත විජේසුන්දර 2/49, නිසල තාරක 2/57 

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 77 (20.0) නිපුන් ධනංජය නොදැවී 23, අහන් වික්‍රමසිංහ නොදැවී 48 

 

හෙට (13) තරගයේ 3 වැනි දිනයයි.  

ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<