මාස 10ක විරාමයකට පසුව ක්‍රිකට් සිංහයෝ නැවතත් පිටියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

218

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය (Boxing Day) හෙට (26) centurion හිදී ආරම්භ වේ.

ටෙස්ට් තරග දෙකකින්, එක්දින ක්‍රිකට් තරග 5කින් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 3කින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද හොඳ සූදානමකින් පසුවෙනවා.

මුහුණට මුහුණ

1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලීමේ දී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 29ක් පවත්වා තිබෙන අතර එයින් තරග 14ක ජය දකුණු අප්‍රිකානුවන් සතුවෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 9ක් පමණි. තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තියෙනවා.

ටෙස්ට් තරගාවලිවලින් ගණනය කර බැලුවොත් මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 12න් තරගාවලි 7ක ජය ලියවී ඇත්තේ දකුණු අප්‍රිකානුවන්ගේ නම ඉදිරියෙන්. තවත් එක තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේ පැවති ටෙස්ට් තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර දකුණු අප්‍රිකාවේ දී එවැනි දස්කමක් දැක්වූ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගාවලියේ පළමු තරගය පැවති ඩර්බන් හිදී කුසල් පෙරේරා ලබා ගත් සුපිරි ලකුණු 153 කැපී පෙනුනි.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වූයේ නැත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල මේ වන විට දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ

ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී පරාජය කර ඇත්තේ 2019 වර්ෂයේ දී වන අතර එම තරගාවලියේ පැවති තරග දෙක අවසන් වූයේ 2-0ක් ලෙස දකුණු අප්‍රිකානුවන්ට පරාජය උරුම කර දෙමිනි. එසේම ගෙවී ගිය වසර දෙක තුල දෙරට අතර පැවති ටෙස්ට් තරග 4න් 4ම ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ලොකු ඉනිම් හා පොඩි ඉනිම්

වසර 17ක් අතීතයට දිවයන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාස පොතේ වාර්තා වන පරිදි මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම හා අඩුම ලකුණු වාර්තා දෙකම ශ්‍රී ලංකාවේ නමට ඉදිරියෙන් සටහන් වෙලා තියෙනවා. ඒ අතරින් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණ ලෙස දැක්වෙන්නේ 2006 වර්ෂයේ දී ලබාගත් ලකුණු 756/5d වන අතර මෙතෙක් ඉනිමක වාර්තා වී ඇති අඩුම ලකුණ වෙන්නේ ලකුණු 95යි.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 12 අතරින් එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධන වන අතර ඔහු එම තරගාවලියේ තරග දෙකක් තුල ඉනිම 3කට පමණක් දායක වෙමින් ශතක දෙකක් සමඟ ලකුණු 510ක් ලබාගෙන ඇත්තේ ලකුණු 170කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. මහේල 2006 වසරේ දී මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියක දී එම දස්කම දැක්වූවා.

එසේම මුත්තයියා මුරලිදරන් දෙරට අතර මෙතෙක් පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ තරග 3ක් තුල කඩුලු 26ක් දවා ගනිමිනි. එම වාර්තා දෙකම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සතුවීම මෙහි ඇති අනෙක් සුවිශේෂිතාවයයි.

ප්‍රබල පිතිකරුවන්

දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද අතැතිව ටෙස්ට් පිටියට පැමිණෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග 7ක දී ඉනිම් 14ක් ක්‍රීඩා කර ලකුණු 570ක් ලබා ගැනීමට සමත්ව ඇත. ඒ අතරට එක ශතකයක් හා අර්ධ ශතක 4ක් ඇතුළත් අතර දල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 43.84ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගැනීමට දිමුත් සමත් වී ඇත.

Faf du Plessis

හිටපු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෑත කාලය තුල ඉතාමත් හොඳ දස්කම් අතර සිටින දකුණු අප්‍රිකානු පිතිකරුවෙක් ලෙස සැලකීමට හැකි අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 9ක දී ඉනිම් 17කට ක්‍රීඩා කරමින් ලකුණු 667ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක හතරක් ලබා ගනිමිනි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 44.46ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතී.

කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කිරීමේ වගකීම පැවරී තිබෙන කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරග 7ක දී ලකුණු 313ක් ලබාගෙන ඇත්තේ ඉනිම් 14ක් සඳහා ක්‍රීඩා කරමිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය ලකුණු 24ක්. ඒ අතරට අර්ධ ශතක දෙකක් ඇතුළත්.

Quinton de Kock

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග ඉතිහාසය පිරික්සා බැලූ විට දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙක් වන ඩීන් එල්ගාර් තරග 5ක ඉනිම් 9ක් සඳහා දායක වෙමින් ලකුණු 437ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ආසන්න වශයෙන් ලකුණු 48.55ක් පමණ වේ. ඒ අතරට ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්.

ප්‍රබල පන්දු යවන්නන්

සුරංග ලක්මාල්

මතුව තිබෙන ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කිරීම පිළිබඳව විශ්වාසයක් නොමැති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංචිතය තුල සිටීම යුතු වේගපන්දු යවන්නෙක් ලෙස ලක්මාල් හඳුන්වා දීමට හැකිය. සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 55ක දී කඩුලු 132ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 අවස්ථා 3ක් ද ලබාගෙනයි. දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 9ක දී කඩුලු 24ක් දවාගෙන ඇත්තේ ලකුණු 727ක් ලබා දෙමිනි. ලක්මාල්ගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30.29කි.

Keshav Maharaj

ඉම්රාන් තාහීර්ට පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම දඟපන්දු යවන්නා ලෙස අපට කේශව් මහරාජ්ව හැඳින්වීමට අපට පුළුවන්. වමතින් පිට දඟපන්දු යවන ඔහු මේ දක්වා ටෙස්ට් තරග 30කට ක්‍රීඩා කර කඩුලු 110ක් දවාගෙන ඇත්තේ 33.19ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. එසේම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකට ක්‍රීඩා කර ඇති මහරාජ් කඩුලු 27ක් දවාගෙන ඇත.

කසුන් රාජිත

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සැලකිය යුතු මට්ටමක වේගයකින් පන්දුව යැවීමට හැකි ක්‍රීඩකයෙකි. ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ වේගවත් දෝලනය වන පන්දුවයි.

රාජිත ජාත්‍යන්තර ටෙස්ට් තරග 8ක දී කඩුලු 25ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.26ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. තවමත් වයස අවුරුදු 27ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දීමට පුළුවන්.

Lungi Ngidi

දකුණු අප්‍රිකාව සතුව ප්‍රබල වේගපන්දු බලඇණියක් සිටින බව අප කොයි කවුරුත් හොඳින් දන්නා කාරණයක් වන නමුත් කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන නිසාවෙන් ඔවුන්ගේ සංචිතය තුල යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සිදු විය. Lungi Ngidi වැදගත් වන්නේ ඔහුට නව පන්දුවෙන් කළ හැකි දේ බොහෝ නිසාවෙනි. ටෙස්ට් තරග 5ක් ක්‍රීඩා කර ඇති Lungi Ngidi එහි දී කඩුලු 15ක් දවාගෙන ඇත්තේ 25.06ක තරම් හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

Centurion ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන Centurion හි Super Sport Park ක්‍රිකට් ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙනවා. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව හුඟක් දුරට වේගපන්දු යවන්නන් හට උචිත ලෙස හැඩගැසී ඇත.

මේ පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 4කට දෙකකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග 4ම පරාජයට පත්ව ඇති අතර 2011 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේ ක්‍රිකට් පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත.

යම්හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ.

සෙල්සියස් අංශක 26 – 31 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් බලාපොරොත්තු වීමට පුළුවන්.

අවසන් නිගමනය

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම 6වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 2076ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 2,454ක් සමඟ ප්‍රසාද ලකුණු 91ක් දිනා ගෙනයි.

ඒ අනුව බලන කළ ශ්‍රේණිගත කිරීම්වලින් ද ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් 6 වැනි ස්ථානයේ සිටියි. දකුණු අප්‍රිකාව ලකුණු 24ක් දිනා ගනිමින් එහි 8 වැනි තැන සිටියි. දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරග දෙක සඳහා ප්‍රසාද ලකුණු 120ක් වෙන්වන අතර එක් තරගයක් ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමට ප්‍රසාද ලකුණු 60ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ලසිත් ඇඹුල්දෙනිය, සුරංග ලක්මාල්/කසුන් රාජිත, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු.

දකුණු අප්‍රිකාව – Quinton de Kock (නායක සහ කඩුලු රකින්නා), Aiden Markram, Dean Elgar, Rassie van der Dussen, Faf du Plessis, Temba Bavuma, Dwaine Pretorius, Anrich Nortje, Keshav Maharaj, Glenton Stuurman, Lungi Ngidi

ටෙස්ට් තරග කාලසටහන

  • පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – 2020 දෙසැම්බර් 26 -30 – Centurion හිදී
  • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – 2021 ජනවාරි 3 – 7 – Johannesburg හිදී

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<