ඉන්දීය ක්‍රිකට් සයුරේ ගිලුණ T20 තරගාවලිය

ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය - 2022/23

375

ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සුක්කානම්කරු, Hardik Pandya ශ්‍රී ලංකාවට තරමක් අවලාදාත්මක වචන විසි කරමිනුයි මෙම තරගාවලියට එක් වෙන්නේ.

ආසියානු කුසලානයේ දී ලද පරාජයට වගකිව යුතු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි අවධානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමන් ක්‍රීඩා කරන්නේ ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී බැව් දැනෙන්නට සලස්වන බැව් ද ප්‍රකාශ කළා.

ඒ අනුව ගිය ඔවුන්, නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අවසන් කරන්නේ 2-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී  තරගාවලි 6කට සහභාගී වී ඇති අතර ඉන් තරගාවලි 5ක් ම පරාජයට පත් ව ඇති අතර එක් තරගාවලියක් පමණක් සම වීමෙන් අවසන් ව තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ගමන් මඟ

  වසර සත්කාරකත්වය ජයග්‍රහණය තරග ශ්‍රී ලංකා නායක ඉන්දීය නායක
1 2008/09 ශ්‍රී ලංකාව ඉන්දියාව 1-0 (1) ටී. එම්. ඩිල්ෂාන් MS Dhoni
2 2009/10 ඉන්දියාව විසඳුමක් නෑ 1-1 (2) කුමාර් සංගක්කාර MS Dhoni
3 2012 ශ්‍රී ලංකාව ඉන්දියාව 1-0 (1) මහේල ජයවර්ධන MS Dhoni
4 2015/16 ඉන්දියාව ඉන්දියාව 2-1 (3) දිනේෂ් චන්දිමාල් MS Dhoni
5 2017 ශ්‍රී ලංකාව ඉන්දියාව 1-0 (1) උපුල් තරංග Virat Kohli
6 2017/18 ඉන්දියාව ඉන්දියාව 3-0 (3) තිසර පෙරේරා Rohit Sharma
7 2019/20 ඉන්දියාව ඉන්දියාව 2-0 (2) ලසිත් මාලිංග Virat Kohli
8 2021 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව 2-1 (3) දසුන් ශානක Shikhar Dhawan
9 2021/22 ඉන්දියාව ඉන්දියාව 3-0 (3) දසුන් ශානක Rohit Sharma
10 2022/23 ඉන්දියාව ඉන්දියාව 2-1 (3) දසුන් ශානක Hardik Pandya

ඉන්දීය කණ්ඩායමේ නායකයාගේ ප්‍රකාශය පළමු තරග ද්විත්වයේ දී ම එතරම් ම වලංගු නොවූව ද තෙවැනි තරගයේ දී නම් එය වඩාත් සිත් රිදෙන හේතුවක් බවට පත් වුනා. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 91ක දැවැන්ත පරාජයකට මුහුණ දෙන්නට සිදු වූවා පමණක් නොවේ Pandya පණ්ඩිත වචනවලට යටත් වීමටත් සිදු වුනා.

Pandya මේ වචනවලින් දමා ගසද්දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබුණේ 5 වතාවක් පමණයි. ඉන් තරග 4ක් ජයග්‍රහණය කරා රැගෙන ගිය ඔහු එක් තරගයක් අවසන් කරන්නේ ලකුණු සමව නිමා කරමින්. එබැවින් එම ශක්තිය ශ්‍රී ලංකාවට එරෙහිව නායකත්වයේ කිරුළ පැළඳි පළමු අවස්ථාවේ දී ම නැවත වතාවක් තමන්ගේ සාර්ථකත්වය සනාථ කිරීමට ඔහුට හැකි වෙනවා.

ඉන්දියාවට එරෙහිව තරගාවලි 3ක් මෙහෙයවා ඇති ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවර තරගාවලියට එක් වූවේ, Pandya කියූ පරිදි ම ආසියානු ශූරයන් ලෙසිනුයි. නමුත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී සේ ම මෙම තරගාවලියේ දී ද එහි ගෞරවය රැක ගැනීමට දසුන්ට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස තරග මෙහෙයවා ඇති දසුන් මේ දක්වා ඉන්දියාවට එරෙහිව අවස්ථා 3ක දී තරගාවලි මෙහෙයවා තිබෙනවා. ඉන් ඉන්දු – ශ්‍රී ලංකා තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව වාර්තා කරන ලද එක ම තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කිරීමට සමත් වූ නායකයා ලෙසයි ඔහු මේ තරගාවලියට එක් වුනේ.

තරගාවලියේ වඩාත් දක්ෂතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් දසුන්  අන් ක්‍රීඩකයන් අතරින් කැපී පෙනුණ ද, තරගයක හෝ තරගාවලියක ජයග්‍රහණය යනු තනි පුද්ගලයෙක්ගේ දක්ෂතා මත පමණක් රැඳී සිටින්නක් නොවන බැව් නැවත වතාවක් මෙම තරගාවලියේ දී ද සුපුරුදු ලෙසින් ම සනාථ වුනා.

එබැවින් ය, මෙම තරගාවලිය ද සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ගිලිහී, ප්‍රතිවාදී ඉන්දිය ක්‍රීඩකයන් සතු වුනේ.‍

තරගාවලියේ පිතිකරු දක්ෂතා

32 හැවිරිදි දකුණත් ඉන්දීය පිතිකරු Suryakumar Yadav ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුං කළ ඉන්දීය පිතිකරුවා බවට පත් වුනා. තීරණාත්මක තරගයේ දී ඔහුගේ ක්‍රියාත්මක පිත්ත නොවන්නට දෙරට අතර තරග ඉතිහාසය ලියැවෙන්නේ මීට වෙනස් ම ආකාරයෙන් විය යුතුව තිබුණා.

ශ්‍රී ලංකාවට වාසිදායක වීමට තිබූ එම ඉතිහාසය වෙනස් කළ ඔහුගේ ශතක ඉනිම ඔහු විසින් මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ රැස් කරන ලද වේගවත් ම ඉනිම බවට ද පත් වුනා. ඔහුගේ මෙම ඉනිම සඳහා වැය වූයේ පන්දු 51ක් පමණක් වන අතර ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 9ක් ඇතුලත් වුනා. ලකුණු ලබා ගැනීමේ වේගය 219.60ක්.

එම ඉනිමත් සමඟින් ඔහු නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා. Suryakumar තරග 3ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 170ක්.

එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නායක දසුන් ශානක සතුකර ගන්නේ තම පෞද්ගලික වාර්තා කිහිපයක් ම තමන් නමට ලියා ගනිමින්.

එහි ප්‍රමුඛ ම වාර්තාව වන්නේ දෙවැනි තරගයේ දී ඔහු විසින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 56යි. එහි අර්ධ ශතක ලකුණ ලබා ගැනීමේ දී දසුන් වැය කළ පන්දු 20 එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද අඩුම පන්දු ප්‍රමාණයයි. ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ මහේල ජයවර්ධන වෙතයි. ඒ ද මීට වසර 15කට පෙර 2007 දී වාර්තා වූවක්.

දසුන්ගේ මෙම තරගාවලියේ දක්ෂතාවන් සටහන් වූයේ 45, 56*ක් සහ 23ක් ලෙසයි.

28 හැවිරිදි Axar Patel මෙම පිතිකරු ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන් කර ගන්නවා. ඒ පිතිකරුවන් ගහණ ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නෙක් ලෙසින් අසුන් ගැන් වූ ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වමිනුයි.

තරග 3ක දී ලකුණු 117ක් ලබා ගන්නා ඔහුගේ සාමාන්‍ය 117.0ක් බවට පත් වෙනවා. ඔහු මෙම තරගාවලියේ දී ලබා ගන්නා ලද ලකුණු 65 මෙතෙක් තරග 40ක විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම බවට ද පත් වෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන්

Player Team M I NO Runs HS Ave 100 50
1 Suryakumar Yadav ඉන්දියාව 3 3 1 170 112* 85.0 1 1
2 දසුන් ශානක ශ්‍රී ලංකාව 3 3 1 124 56* 62.0 0 1
3 Axar Patel ඉන්දියාව 3 3 2 117 65 117.0 0 1
4 කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව 3 3 0 103 52 34.3 0 1
5 චරිත් අසලංක ශ්‍රී ලංකාව 3 3 0 68 37 22.6 0 0

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක මෙම ලැයිස්තුවේ පළමු 5 දෙනා අතරට එක් වීමට සමත් වෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ දක්ෂතා ද පවතින්නේ ඉතා දුප්පත් මට්ටමේ වන අතර ඔවුන්ගෙන් මීට වඩා යමක් කණ්ඩායමට එක් කිරීමට හැකි වූවා නම් වඩාත් සුදුසුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක් වූ පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා සහ භානුක රාජපක්ෂ පිතිකරණයේ දී පසුබැසීම මෙම තරගාවලි පරාජයේ දී බෙහෙවින් ම බලපෑ බැව් නොරහසක්.

පැතුම් තරග 3ක දී ලබා ගන්නේ ලකුණු 49ක් පමණයි. එහි සාමාන්‍ය 16.33ක්. මේ ලකුණු අතරින් ලකුණු 33ක් ම වාර්තා වන්නේ ඉන්දියාව සමඟ ජයග්‍රාහී තරගයේ දී.

ධනංජය ද සිල්වා තරග 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33ක් වන අතර භානුක රාජපක්ෂ තරග 2ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 12ක්. භානුකගේ මේ පසුබැසීම හේතුවෙන් ඔහුට තෙවැනි තරගයට අහිමි වන අතර ඔහු වෙනුවෙන් එක් වූ අවිශ්ක ප්‍රනාන්දුට ද එම තරගයේ දී සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වූ චාමික කරුණාරත්න ලකුණු 34ක් සහ වනිඳු හසරංග ලකුණු 30ක් ද ලබා ගනිමින් කණ්ඩායමට පිතිකරණයෙන් දැක් වූ දායකත්වය නොවන්නට ශ්‍රී ලංකා පිතිකරණ දක්ෂතා හෝදා පාළු වී ගිය රබර් ඉඩමක් බවට පත් වීමට ඉඩ තිබුණා.

පන්දු යවන්නන්ගේ දක්ෂතා

Player Team Mat I O M Runs Wkts Best
1 Umran Malik ඉන්දියාව 3 3 11.0 0 106 7 3/48
2 ඩිල්ශාන් මධුශංක ශ්‍රී ලංකාව 3 3 12.0 0 135 5 2/45
3 Shivam Mavi ඉන්දියාව 3 3 9.0 0 81 4 4/22
4 Arshdeep Singh ඉන්දියාව 2 2 4.4 0 57 3 3/20
5 Axar Patel ඉන්දියාව 3 3 10.0 0 74 3 2/24

තරගාවලියේ කැපී පෙනෙන ම පන්දු යවන්නා බවට පත් වූයේ 23 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ඉන්දීය ක්‍රීඩක Umran Malik. ඔහු මෙම තරගාවලිය සමඟ එක් වෙද්දී ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 3ක ලබා සිටියේ කඩුලු 2ක් පමණයි.

එහෙත් ඔහු මෙම තරගාවලිය අවසන් කරන විට තම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පිටියේ තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දවා ගැනීම දක්වා ඉහළ දමා ගත්තා. ශ්‍රී ලංකාව සමඟ දෙවැනි තරගයේ දී ලකුණු 48කට දවා ගන්නා ලද කඩුලු 3 ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගත්තා.

ඉන්දීය කෝඩුකාර පන්දු යවන්නන් අතරට එක් වූ ශ්‍රී ලංකාවේ 22 හැවිරිදි වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මධුශංක මෙම ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන් කර ගත්තේ කඩුලු 5ක් දවා ගනිමින්.

මෙම තරගාවලිය වෙද්දී ඩිල්ශාන් ක්‍රීඩා කර තිබුණේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6ක් පමණයි.

එතැන් සිට ක්‍රීඩකයන් ලැයිස්තු ගත වීමේ ස්ථාන 4ක් ම වෙන්වන්නේ ඉන්දීය පන්දු යවන්නන්ට වීම විශේෂයි. ඒ අතරින් කෝඩුකාරයෙක් ලෙසින් තරගාවලියට එක් වූ 24 හැවිරිදි දකුණතින් වේගපන්දු යැවූ Shivam Mavi මෙම ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වෙනවා.

ඔහු මෙම තරගාවලියට එක් වීමට සුදුසුකම් ලබා ගන්නේ තමන් සහභාගී වූ අවසන් විස්සයි විස්ස තරග 10 තුළ කඩුලු 30ක් දවා ගැනීමට පෑ දක්ෂතාවන් හේතුවෙන්. එලෙස ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නා Shivam Mavi තම මංගල තරගයේ දී ම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 22කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙමින් තමන්ගේ තේරීම සාධාරණීයකරණය කිරීමට සමත් වෙනවා.

ඊට අමතරව 23 හැවිරිදි වමතින් වේගපන්දු යැවූ Arshdeep Singh සහ 28 හැවිරිදි වමතින් දඟපන්දු යැවූ Axar Patel ද තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගත් 5 දෙනා අතරට එක් වෙනවා.

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ම දඟපන්දු යවන්නා වන මෙවර විස්සයි විස්ස කණ්ඩායමේ උපනායකත්වයෙන් ද පිදුම් ලැබූ වනිඳු හසරංගට මෙම ලැයිස්තුවේ හිමි වෙන්නේ 7 වැනි ස්ථානයයි. වනිඳුට මෙම තරගාවලියේ දී ලබා ගැනීමට හැකි වන්නේ කඩුලු 3ක් පමණක් වන ඒ උදෙසා ඔහු ලකුණු 99ක් ප්‍රතිවාදීන්ට ප්‍රදානය කරනවා.

ඊට අමතරව කසුන් රාජිත 8 වැනි ස්ථානයත් සහ චාමික කරුණාරත්නට 9 වැනි ස්ථානයත් හිමි වෙනවා. ඔවුන් දෙදෙනා ද කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් වෙනවා.

විස්සයි විස්ස තරගාවලියෙන් ලත් පරාජය, එම ක්‍රීඩාංගණවල ම තබා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම කළ යුත්තේ හෙටින් (10) ආරම්භ වන එක්දින තරගාවලියේ දී මේ දුර්වලතා මඟ හැර ගනිමින් ක්‍රීඩා පිටියට පිවිසීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<