තලේබාන්වරු ඇෆ්ගන් ජයග්‍රහණය සමරද්දී කාබුල් වීදි හිස්වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

460

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ඇෆ්ගනිස්තානය ඊයේ (25) සමත් වුනා. ඒ ස්කොට්ලන්තය ලකුණු 130කින් පරාජය කරමින්.

ඊයේ තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන තලේබාන් පාලනය ජයග්‍රහණය සමරන ආකාරය සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් තරග ජයග්‍රහණයෙන් අනතුරුව ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර වීදි ජනශුන්‍ය වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීට පෙර ඇෆ්ගනිස්තාන තරගයක් ජයග්‍රහණය කළ විට කාබුල් වීදි ජනයාගෙන් පිරී ගොස් ප්‍රීති වන අයුරු දක්නට ලැබුණා.

ඇෆ්ගනිස්තාන ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතමින් තලේබාන් පාලනයේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකුම සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩ නිකුත් කර තිබුණා.

ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය අතර තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවති අතර තලේබාන් කැරලිකරුවන් විසින් එරට පාලනය අත්කර ගැනීමෙන් අනතුරුව ඇෆ්ගනිස්තානය වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්.

තලේබාන් කැරලිකරුවන් විසින් ඇෆ්ගනිස්තානයේ පාලනය අත්කර ගැනීමෙන් අනතුරුව එරට බොහෝ විනෝදාත්මක කටයුතු සඳහා තහනමක් පනවා තිබුණා. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කිසිදු තහනමක් නොමැති අතර එරට දරුණු යුධ තත්ත්වයක් පවතින අවස්ථාවල දී ද කැරලිකරුවන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සහයෝගය ලබා දෙන ආකාරය දක්නට ලැබුණා.

අපි කණ්ඩායමට සුබ පැතුම් එක් කරනවා. අනාගතයේ දී ඔවුන්ට තවත් සාර්ථක වෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා”, තලේබාන් මාධ්‍ය ප්‍රකාශක Zabihullah Mujahid Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියා.

ඉන් අනතුරුව තලේබාන් කැරලිකරුවන්ගේ කටාර් රාජ්‍යයේ ප්‍රකාශක ද එයට පිළිතුරු ලබා දී තිබුණා. එහි දී ඔහු පවසා ඇත්තේ රටේ සියලු අංශවලින් මෙවන් ප්‍රගතියක් බලාපොරොත්තු වන බවයි. විශේෂයෙන් දේශපාලනික, ආර්ථික සහ විද්‍යාත්මක අංශවලින් දියුණුවක් ඔවුන් අපේක්ෂා කරන බව ඔහු පවසා තිබෙනවා.

තලේබාන් පාලනයේ ඉහළම මට්ටමේ සුබ පැතුම් එක් කර තිබුණේ Anas Haqqani විසින්. ඔහු ඇෆ්ගනිස්තානයේ වත්මන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය සහ Haqqani ජාලයේ අධිපති Sirajuddin Haqqani ගේ සහෝදරයා ය.

ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළා..” Anas පවසා සිටියා.

මේ අතර එක්සත් ජාතීන්ගේ තලේබාන් නියෝජිතවරයා වන Suhail Shaheen ද Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා. ඔහු එහි දී ක්‍රීඩකයන් දිරිගන්වා තිබුණා.

මෙම සිදුවීම්වලට අමතරව තවත් සුවිශේෂී සිදුවීම් කීපයක් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අතරින් හිටපු උප ජනාධිපති සහ තලේබාන් පාලනය ස්ථාපිත වීමෙන් අනතුරුව තලේබාන් විරෝධී කඳවුරේ නායකයෙකු වන Amrullah Saleh පවසා තිබූ ප්‍රකාශය දැඩි මතභේදාත්මක තත්වයකට හේතුවී තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම තලේබාන් පාලනය පිළිනොගන්නා ජාතික ගීයක් ගායනා කරමින් ජාතික ධජය එසවූ බවයි.

මීට අමතරව ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති වන Ashraf Ghani පවසා සිටියේ ඇෆ්ගනිස්තාන ජයග්‍රහණය එරට ජනතාවගේ සිත් තුළ නව බලාපොරොත්තුවක් දැල්වූ බවත්, තම රට කිසිවෙකුටත් ප්‍රාණ ඇපයට තබා ගත නොහැකි බවත් පවසා තිබෙනවා. තලේබාන් ආක්‍රමණය හමුවේ Ghani පසුගිය අගෝස්තු මාසයේ දී වෙනත් රටකට පලාගොස් තිබුණා.

තලේබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑමක් එල්ල වනු ඇතැයි බොහෝ දෙනා මත පලකර තිබූ අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජිතයන් එළඹෙන මාසයේ දී තලේබාන් පාලනය හමුවීමට නියමිතයි. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් අනාගතය පිළිබඳව එහි දී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ තරගය ජයග්‍රහණයත් සමඟින් ඇෆ්ගනිස්තානය දෙවැනි කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා. ඔවුන් මුහුණ දෙන මීළඟ තරගය පාකිස්තානය සමඟින් එළඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<