ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය පෙනෙන මානයට

Sri Lanka Tour of Bangladesh 2024

50

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (02) නිමාවට පත් වන විට ශ්‍රී ලංකාව තරගයේ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට ම පැමිණීමට සමත් වුනා.

ඊයේ දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබා සිටි අතර, අද උදෑසන ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමෙන් අනතුරුව සිය ඉනිම නතර කිරීමට තීරණය කළේ බංග්ලාදේශයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් ඉතිරි කරමිනුයි.

මෙහි දී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ නිල පිතිකරුවන් හත් දෙනාම අර්ධ ශතක ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මීට අමතරව ප්‍රභාත් ජයසූරිය ද නොදැවී ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා. බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Hasan Mahmud කඩුලු 4ක් බිඳ හෙළුවා.

ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලි පිතිකරුවන් ඉතා ආරක්ෂාකාරී ලෙස පිතිකරණයේ යෙදෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ගැලවීමට සිය උපරිම උත්සාහය යෙදුවත් ඔවුන්ට එය එතරම් සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.

අද දිනයේ ඔවුන්ගේ සාර්ථක ම පිතිකරුවා වූ Mominul Haque ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව අනෙක් දැවී ගිය සියළු පිතිකරුවන් ද ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යා කරා පිවිසීමට සමත් වුනා. කෙසේ නමුත් අද දිනය තුළ ඔවුන්ගේ කඩුලු 7ක් බිඳ දැමීමට ශ්‍රී ලංකාව සමත් වුනේ තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 3ක් පමණක් අවශ්‍ය වන වාතාවරණයක් ගොඩ නගමිනුයි.

මෙහි දී Shakib Al Hasanගේ කඩුල්ල බිඳ දමමින් සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගත් කමිඳු මෙන්ඩිස් පසුව Shahadat Hossainව ද දවා ගැනීමට සමත් වුනා. මීට අමතරව ලහිරු කුමාර සහ ප්‍රභාත් ජයසූරිය ද කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී, විශ්ව ප්‍රනාන්දුට එක් කඩුල්ලක් හිමි වුනා.

අද දිනයට තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි Mehidy Hasan Miraz ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

බංග්ලාදේශයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 243ක් අවශ්‍ය වනවා.

තරගයේ පස් වැනි සහ අවසන්  දිනය හෙට (03) ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<