Home Sinhala ශ්‍රී ලංකාව බංගලින්ට එකට එක කරයි

ශ්‍රී ලංකාව බංගලින්ට එකට එක කරයි

Sri Lanka Tour of Bangladesh 2024

66
Sri lanka Tour of Bangladesh 2024

බංග්ලාදේශය සමඟ පැවැත්වුණු දෙවන එක්දින තරගයෙන් කඩුලු 03ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සමත් වුනා.

අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් සමත් වුනා.

කෙසේ වෙතත් මෙවර ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

මෙම තරගයට බංග්ලාදේශය කිසිඳු වෙනස් කමකින් තොරව ඉදිරිපත් වීමට තීරණය කර තිබූ අතර, ශ්‍රී ලංකාව එක් වෙනස්කමක් සමඟ මෙම තරගයට ඉදිරිපත් වී තිබුණා.

ඒ අනුව මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ අද තරගයට සහභාගී වුනා.

ශ්‍රී ලංකාව:

පැතුම් නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායකයා), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක සහ ලහිරු කුමාර

බංග්ලාදේශය:

Litton Das, Soumya Sarkar, Najmul Hossain Shanto(නායක), Towhid Hridoy, Mushfiqur Rahim(w), Mahmudullah, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Shoriful Islam, Tanzid Hasan

මෙන්ඩිස්ගේ ආරාධනයෙන් යුතුව පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරු සබඳතාවට එකඳු ලකුණක් හෝ එක් වීමට නොදුන් ඩිල්ශාන් මදුශංක Litton Dasගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඉන් පසුව Soumya Sarkar සමඟ එක් වූ නායක Najmul Shanto විසින් බංගලි දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක් එක් කිරීමට සමත් වූ අතර, ලකුණු 40ක් ලබා සිටි Shanto ද ඩිල්ශාන්ගේ ගොදුරක් බවට පත් වුනා. කෙසේ වෙතත් ඉන් පසුව පිටියට පිවිසි Towhid Hridoy සිය අසාර්ථක තරග රැල්ලට තිත තබමින් ඉනිම ගොඩ නැංවීම ආරම්භ කළා.

මේ අතර පෙර තරගයේ දී එතරම් සාර්ථක වීමට හැකියාව නොලැබීම නිසා කතාබහට ලක් වූ වනිඳු හසරංග පන්දුව අතට ගැනීමෙන් පසුව මෙතෙක් වෙලා කඩුල්ලේ ස්ථාවර වී සිටි Soumyaගේ ඉනිම ලකුණු 68කට සීමා වූ අතර, බංගලි ඉනිමේ හය වැනි කඩුල්ල ද ලකුණු 189ක් වන විට බිඳ හෙළීමට වනිඳු සමත් වුනේ සිය කඩුලු මල්ලට කඩුලු හතරක් එක් කර ගනිමිනුයි.

කෙසේ වෙතත් ඉන් පසුව පිටියට පිවිසි Tanzim Hasan Sakib සහ Taskin Ahmed විසින් Hridoy සමඟ එක් වී බංග්ලාදේශය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුනා. මෙහි දී බංගලි ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි Towhid Hridoy පන්දු 102කින් ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හයේ පහර 5ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්. මේ අනුව බංග්ලාදේශ විසින් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 286ක් එක් කිරීමට සමත් වුනා.

බංග්ලාදේශයෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය අතරින් අවිශ්ක ප්‍රනාන්දු ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Shoriful Islam විසින් සමත් වූ අතර, මෙන්ඩිස් සහ සදීරගේ කඩුලු ද ඉක්මනින් ම දැවී යාම නිසා ශ්‍රී ලංකා ඉනිම වරෙක කඩුලු 3කට ලකුණු 43ක් ලෙස දිස් වුනා.

නමුත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ පැතුම් නිස්සංක සහ චරිත් අසලංක යුගලය විසින් පෙර තරගයේ බංග්ලාදේශය වෙනුවෙන් Najmul Shanto සහ Mushfiqur Rahim අතරේ පැවැත්වුණු සබඳතාවට අතිශය සමාන අන්දමේ සබඳතාවක් නිර්මාණය කිරීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉතා පහසුවෙන් බංගලි පන්දු යවන්නන්ගෙන් ලකුණු සොරා ගනිමින් පන්දු 183කින් ලකුණු 185ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී පැතුම් නිස්සංක විසින් සිය සය වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, එය ඔහු අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග හය තුළ වාර්තා වූ තෙවැනි ශතකය වීම ද විශේෂත්වයක්.

පැතුම් පන්දු 113කින් ලකුණු 114ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 03කින් වර්ණවත් වුනා. මේ අතර පැතුම් ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙස දවා ගැනීමට Mehidy Hasan විසින් සමත් වූ අතර, ඔහුගේ දැවී යාමෙන් මොහොතකට පසු මෙතෙක් වේලා තවත් අනර්ඝ ඉනිමක් දියත් කරමින් සිටි චරිත් අසලංක ද ලකුණු 91කට දැවී ගියා. පන්දු 93ක් තුල වාර්තා වූ මෙම ඉනිමට චරිත් විසින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එක් කර ගැනීමට සමත් වුනා.

මේ සමඟම මෙතෙක් වෙලා තරගයේ ජයග්‍රහණය ඇස් මානයේ තබා ගෙන සිටි ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස බිඳ වැටීමට පටන් ගත් අතර, ජනිත් ලියනගේ ද ලකුණු 9කට දවා ගැනීමට Taskin Ahmed විසින් සමත් වුනා.

කෙසේ වෙතත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ විසින් ඉනිමේ 7 වැනි කඩුල්ල සඳහා වටිනා ලකුණු 34ක් එක් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය කරා ළඟා වුනා. මේ වෙනුවෙන්  වනිඳු ඉක්මන් ලකුණු 25කින් සහ දුනිත් නොදැවුණු ලකුණු 15කින් සිය දායකත්වය ලබා දුන්නා.

බංග්ලාදේශය වෙනුවෙන් Shoriful Islam සහ Taskin Ahmed විසින් කඩුලු දෙක බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

  • තරගයේ වීරයා: පැතුම් නිස්සංක

Result


Bangladesh
286/7 (50)

Sri Lanka
287/7 (47.1)

Batsmen R B 4s 6s SR
Liton Das c Dunith Wellalage b Dilshan Madushanka 0 3 0 0 0.00
Soumya Sarkar c Dilshan Madushanka b Wanidu Hasaranga 68 66 11 1 103.03
Najmul Hossain Shanto c Kusal Mendis b Dilshan Madushanka 40 39 6 0 102.56
Towhid Hridoy not out 96 102 3 5 94.12
Mahmudullah st Kusal Mendis b Wanidu Hasaranga 0 2 0 0 0.00
Mushfiqur Rahim lbw b Wanidu Hasaranga 25 28 3 0 89.29
Mehidy Hasan Miraz b Wanidu Hasaranga 12 18 1 0 66.67
Tanzim Hasan c Wanidu Hasaranga b Pramod Madushan 18 33 1 0 54.55
Taskin Ahmed not out 18 10 2 1 180.00


Extras 9 (b 1 , lb 1 , nb 1, w 6, pen 0)
Total 286/7 (50 Overs, RR: 5.72)
Bowling O M R W Econ
Dilshan Madushanka 6.4 1 30 2 4.69
Pramod Madushan 9 0 72 1 8.00
Lahiru Kumara 8 0 50 0 6.25
Janith Liyanage  4.2 0 30 0 7.14
Charith Asalanka 2 0 10 0 5.00
Dunith Wellalage 10 0 47 0 4.70
Wanidu Hasaranga 10 1 45 4 4.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Liton Das b Mehidy Hasan Miraz 114 113 13 3 100.88
Avishka Fernando c Soumya Sarkar b Shoriful Islam 0 1 0 0 0.00
Kusal Mendis c Mushfiqur Rahim b Taskin Ahmed 16 13 3 0 123.08
Sadeera Samarawickrama c Mehidy Hasan Miraz b Shoriful Islam 1 4 0 0 25.00
Charith Asalanka c Mushfiqur Rahim b Taskin Ahmed 91 93 6 4 97.85
Janith Liyanage  lbw b Tanzim Hasan 9 16 0 0 56.25
Dunith Wellalage not out 15 27 0 0 55.56
Wanidu Hasaranga c Liton Das b Taijul Islam 25 16 1 2 156.25
Pramod Madushan not out 0 1 0 0 0.00


Extras 16 (b 0 , lb 0 , nb 0, w 16, pen 0)
Total 287/7 (47.1 Overs, RR: 6.08)
Bowling O M R W Econ
Shoriful Islam 9 0 49 2 5.44
Tanzim Hasan 10 0 65 1 6.50
Taskin Ahmed 9 0 49 2 5.44
Mehidy Hasan Miraz 10 0 58 1 5.80
Taijul Islam 5 0 43 1 8.60
Soumya Sarkar 4 0 21 0 5.25
Najmul Hossain Shanto 0.1 0 2 0 20.00



මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම මට්ටමේ පසු වනවා. තරගාවලියේ තීරණාත්මක තෙවන එක්දින තරගය එළඹෙන සඳුදා (18) පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ ද සජීවී දසුන් ඔබ වෙත ගෙන ඒමට මෙන්ම, තරගය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<