Gabba තණතීරුවේ ඇදයක්!

2102

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය දා පැවති ටෙස්ට් තරගයට භාවිතා කළ Gabba තණතීරුව සාමාන්‍ය මට්ටමට වඩා අඩු (below average) තත්වයට වර්ග කරමින් එයට දඬුවම් ලකුණක් (demerit point) ලබා දීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

දින දෙකක් තුළ අවසන් වූ මෙම ටෙස්ට් තරගය පුරාවටම යැවීමට හැකි වුනේ පන්දු 866ක් පමණක් වන අතර එය ඕස්ට්‍රේලියාව තුළ දෙවනුවට ඉක්මනින් ම අවසන් වූ ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

එම තරගයෙන් පසුව දකුණු අප්‍රිකා නායක Dean Elgar මෙම තණතීරුව පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර සාධාරණ තරගයකට උපකාර නොවූ බව ප්‍රකාශ කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද එයට එකඟ වී තිබුණා.

“සමස්තයක් විදියට එම Gabba ටෙස්ට් කඩුල්ල පන්දු යවන්නන්ට විශාල වාසියක් ගෙන දුන්නා. එහි අධික ඉපිලීමක් මෙන්ම දෝලනයක් ද තිබුණා. දෙවැනි දිනයේ දී පන්දු බොහොමයක් පහතින් ගමන් කළ අතර එයින් පිතිකරුවන්ට සම්බන්ධතා ගොඩ නැගීමට හැකි වුනේ නැහැ.

පිත්ත සහ පන්දුව අතර තරගයක් දක්නට නොලැබුණු නිසා මට හැඟී ගියා මෙය සාමාන්‍ය මට්ටමට වඩා අඩු තණතීරුවක් බව,” තරග තීරකයා ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මෙය භයානක තණතීරුවක් බවට දකුණු අප්‍රිකා නායකයා කළ ප්‍රකාශයට තරග තීරකයා එකඟව තිබුණේ නැහැ.

දකුණු අප්‍රිකා නායක Dean Elgar ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම අතරතුර පිටියේ විනිසුරුවන්ගෙන් මෙම තණතීරුව පිළිබඳව ප්‍රශ්න නැගුවත් ඔවුන්ගෙන් පිළිතුරක් ලැබී තිබුණේ නැහැ.

මෙම තණතීරුව පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියා ටෙස්ට් නායක Pat Cummins ප්‍රකාශ කළේ එය භයානක තණතීරුවක් වීමට කිසිම ඉඩක් නැති නමුත් පිතිකරණයට තරමක් අපහසු එකක් බවයි.

“පුද්ගලිකව දින දෙකක් තුළ අවසන් වෙනවා කියන්නේ සුදුසු නැති දෙයක්. ක්‍රීඩාංගණ නිලධාරීන් ඉදහිට කොළ පැහැති තණතීරු ලබා දීම මට ප්‍රශ්නයක් නෙවේ. මම Gabba වල ක්‍රීඩා කළ තරග බොහෝමයක පිතිකරණයට උචිත පැතලි තණතීරු ලැබුණේ. මම හිතන්නේ ඒක කණ්ඩායම් දෙකටම සමානයි කියලා.”

මෙය ඕස්ට්‍රේලියානු තණතීරුවක් පසුගිය වසර 4 තුළ දඬුවම් ලකුණු ලැබූ දෙවැනි අවස්ථාව වන අතර 2018 වසරේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයට භාවිතා කළ තණතීරුව ද සාමාන්‍ය මට්ටමට අඩු එකක් බව තරග තීරකයා ශ්‍රේණිගත කළා.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය බොක්සිං (26) දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<