ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්න යන ශ්‍රී ලංකා සංචිතය

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය 2021

2268

එළඹෙන නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු වෙත ලබා දී තිබෙනවා.

මේ කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා නවක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්ම ඇතුළත්ව සිටීම සුවිශේෂී වෙනවා. ඒ අතර 16 හැවිරිදි විශ්මි ගුණරත්න ද වෙනවා. විශ්මි සීනිගම කාන්තා ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් මේ වසර ආරම්භයේ පැවති LIst A තරගයක දී චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දු 117ක දී අගනා ලකුණු 112ක් ලබා ගනිමින් ශතකයක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කළා.

2020 මාර්තු මාසයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකාව එකදු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර නැහැ. එසේම ඔවුන් අවසන් වරට ජාත්‍යන්තර එක්දින තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2019 ඔක්තෝබර් මාසයේ දීයි. ගෝලීය වසංගතයක් වී තිබෙන COVID-19 වයිරසයේ බලපෑම නිසාවෙන් බොහොමයක් ජාත්‍යන්තර තරගාවලි අවලංගු වීම එයට හේතු සාධක වුනා.

එම නිසාවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර යම් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උත්සහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු සංචාරයක් සඳහා සහභාගී කරවීමට සූදානමින් සිටි නමුත්, පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ යම් ගැටලුවක් නිසාවෙන් එම තරගාවලිය පැවැත්වීමට හැකියාවක් නොලැබෙනු ඇත.

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, තායිලන්තය, පැපුවා නිව් ගිනියාව, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරනු ලබනවා. එම කණ්ඩායම් 10 අතරින් කණ්ඩායම් 3ක් 2022 වසරේ මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 දක්වා නවසීලන්තයේ දී පැවැත්වෙන 2022 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

ICC එක්දින කාන්තා ක්‍රිකට් ශූරතාවලිය අවසානයේ දී ඒ ඒ කණ්ඩායම් දැක්වූ දස්කම් අනුව සත්කාරක නවසීලන්තය ට අමතරව තවත් රටවල් 4ක් (ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව) 2022 වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන අවසන්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය – චමරි අතපත්තු (නායිකාව), හර්ශිතා මාධවී (උප නායිකාව), ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, ඔශාධි රණසිංහ, අමා කාංචනා, උදේශික ප්‍රබෝධනි, අචිනි කුලසූරිය, අනුෂ්ක සංජීවනී, කවිෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි ගුණරත්න, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩකයින් – උමේෂා තිමාශිනි, කාව්‍යා කාවින්දි, මධුෂිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<