අපි Hardikට පන්දු යවන්න බල කරන්නේ නැහැ – මහේල

IPL 2021

3186

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහ Mumbai Indians කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Hardik Pandya පසුගිය තරග කීපය තුල පන්දු යැවීමෙන් කණ්ඩායමට දායකත්වය ලබා නොදීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mumbai Indians පුහුණුකරු මහේල ජයවර්ධන පවසා සිටියේ Mumbai Indians සහ එහි කළමනාකාරිත්වය Hardik Pandya හට පන්දු යැවීමට බලනොකරන බවයි. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරිත්වය ඔහුගෙන් බලාපොරොත්තු වන දායකත්වය වෙනස් විය හැකි බව ද ඔහු පවසා සිටියා.

අපි හැමවෙලේම උත්සාහ කරන්නේ Hardik Pandyaට හොඳම දේ කරන්න. ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල පන්දු යවන්න පුළුවන් ද, බැරි ද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ වෙලාවේ අපි ඔහුට බලකරන්නේ නැහැ. අපි ඔහුට පන්දු යවන්න බලකළොත් ඒක ඔහුට ප්‍රශ්නයක් වේවි. ඔහුගෙන් පිතිකරුවෙක් විදිහට අපි ගන්න සේවයටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”, මහේල පවසා සිටියා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම Hardik Pandya තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තම කණ්ඩායමට එක් කර ගනු ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

Hardik Pandya පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්කර ගැනීම ඉන්දීය කණ්ඩායමට අවාසිදායක වනු ඇති බව ඔවුන්ගේ මතයයි. Hardik Pandya ඉන්දීය කණ්ඩායමට තෝරාගැනීම සඳහා මූලික හේතුව වශයෙන් දක්වා ඇත්තේ ද ඔහු පසුගිය කාලය තුල දැක්වූ තුන් ඉරියව් දක්ෂතායි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර පසුගිය 19 වැනිදා ආරම්භ වූ අතර Mumbai Indians සහභාගී වූ පළමු තරග දෙක සඳහා Hardik Pandya සහභාගී වුනේ නැහැ. Hardik Pandya පසුගිය කාලය තුල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල දී පන්දු යවා නැහැ. ඔහු අවසන් වරට පන්දු යවා තිබුණේ පසුගිය ජූලි මාසයේ දී පැවති තරගයක දීයි.

Hardik Pandya ස්ථීර ක්‍රීඩකයෙකු ලෙස ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමට ඇතුළත් ව සිටින අතරතුර මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්ව සිටින Shardul Thakur අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක්ව සිටිනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහේල පවසා සිටියේ තරගාවලියේ යම් තැනක දී Pandyaගේ දායකත්වය පිළිබඳව ගැටලුවක් ඇතිවිය හැකි බවයි. මේ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු ප්‍රධානීන් කීපදෙනෙක් ද අදහස් දක්වා තිබුණා.

එහි දී MSK Prasad පවසා සිටියේ Hardik Pandya සංචිතය සඳහා තෝරාගැනීමට මූලික හේතුව වූයේ ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වීම බවයි.

අපි දැක්කා Hardik ඔහුගේ පිතිකරණයෙන් සුපුරුදු රිද්මයට ඇවිල්ලා ඉන්නවා. Mumbai Indians සහ Punjab Kings තරගයේ දී අපි දැක්කා. මම හිතනවා ඔහු ඉක්මනින්ම පන්දුවාර 4 යවන්න පටන් ගනීවි කියලා. ඔහුව සංචිතයට තෝරාගත්ත තීරණය සාධාරණයි කියලා ඔහු පෙන්වන්න ඕනේ”, MSK Prasad පවසා තිබෙනවා.

Mumbai Indians සහ Delhi Capitals අතර තරගය අද (02) පැවැත්වුණු අතර එහි ජයග්‍රහණය ලබා ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

Mumbai Indians ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට සමත් වුනේ නැහැ. ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 12න් ජයග්‍රහණය කර ඇත්තේ තරග 5ක් පමණයි. ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<