ගෙවුනු දවස සැප්තැම්බර් 02 – එක් තරගයක් පරාදයි

549
Sri Lanka Sports News

“ගෙවුනු දවස” සමඟින් එකතු වන ඔබට ස්තූතියි. ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  රග්බි  

ඊයේ තරග තුනෙන් දෙකක ජය ලංකාවට

ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියර ඊයේ ආරම්භ වූයේ හොං කොං හීදීයි. පළමු දිනය තුල ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එහිදී ඔවුන් සහභාගී වූ තරග 3න්  2ක් ජය ගන්නට සමත් විය. B කාණ්ඩයේ අපරාජිතව පෙරමුණ ගත්තේ සත්කාරක හොං කොං කණ්ඩායමයි.‍

  • ශ්‍රී ලංකාව 43 – 12 චීන තායිපේ
  • ශ්‍රී ලංකාව 40 – 21 මැලේසියාව
  • ශ්‍රී ලංකාව 00 – හොං කොං 22

හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ  අවසන් පූර්ව වටයේ තරග එරට වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වන අතර ශ්‍රී  ලංකාව සහ චීනය අතර කුසලාන අවසන් පූර්ව වටයේ පළමු තරගය ආරම්භ වන්නේ ශ්‍රී  ලංකා වේලාවෙන් අද උදෑසන 10.42ටයි.

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ දෙවන අදියර දකුණු කොරියාවෙදීත්, තුන්වන සහ අවසන් අදියර ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතයි.

හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාවලියේ පළඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ ඊයේ ඔවුන් සහභාගී වූ අවසන් තරගයේදී උස්බෙකිස්ථානය ලකුණු 39 – 00 ක් ලෙස පහසුවෙන් පරාජය කරමිනුයි.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට


  ක්‍රිකට්  

ජයග්‍රහණය මොරටුවට

සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර ඊයේ (2) මුවර්ස් පිටියේදී පැවැත්විණි. තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමින් මෙම තරඟය සාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය කලේ ලකුණු 141කිනි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 262-5 (50) නුවනිදු ප්‍රනාන්දු 138, තරුශ ප්‍රනාන්දු 42, ප්‍රවීන් කුරේ 39, නිපුන් ලක්ෂාන් 2/48, යෙශාන් වික්‍රමාරච්චි 2/52

තර්ස්ටන් විද්‍යාලය –121 -10 (42.4) නිමේෂ් පෙරේරා 40, විනුජ රණසිංහ 3/15, තරුශ ප්‍රනාන්දු 2/30

සම්පූර්ණ ලිපිය: 17න් පහල කිරුළ සෙබස්තියන් විද්‍යාලයට


සංචිතයේ වෙනස්කම් කිහිපයක්

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 5 වන සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනස්කම් 3ක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දකුණු පාදයේ කෙණ්ඩා ප්‍රදේශයේ ආබාධයක් හේතුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් හට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ඉදිරි තරග අහිමි වන අතර ඔහු වෙනුවෙන් කණ්ඩායමට කැඳවා තිබෙන්නේ 31 හැවිරිදි වමත් පිතිකරු උපුල් තරංගවයි.

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට සංචිතයට එක් කර ඇත්තේ කඩුලු රකින්නෙකු මෙන්ම පිතිකරුවෙකු ලෙසද කටයුතු කරන නිරෝෂන් දික්වැල්ල සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකවයි.

සම්පූර්ණ ලිපිය: එක්දින සංචිතයේ වෙනස්කම් 3ක්


මයිකල් මේන්ගේ තැනට ඩිල්ෂාන් ෆොන්සේකා

කීර්තිමත් පුහුණුකරුවෙකු වන ඩිල්ෂාන් ෆොන්සේකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු (trainer) ලෙස මයිකල් මේන් වෙනුවට තෝරාපත් කරගෙන අැත. ඔහුගේ මෙම පත්වීම තාවකාලික එකක් වන අතර ඔස්ට්‍රේලියානු සංචාරය නිමාවන තෙක් ඔහු පුහුණුකරු ලෙස සේවය කරනු අැත.

සාන්ත ජෝසප් විදුහලෙහි කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු ඔහු වර්තමානයේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරනු ලබයි. මෙම පත්වීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් සේවය කර අැත.

වැඩිදුරටත් කියවන්න පිවිසෙන්න


  පාපන්දු  

සහිරා හමුවේ වෙස්ලි පැරදේ

කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19න් පහල තරගාවලියේ සහිරා විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර තරගයක් ඊයේ කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති අතර එයින් ගෝල 04 – 00 ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සහිරා විද්‍යාලය සමත් විය.

තරගයේ ප්‍රථම ගෝලය වාර්තා වන්නේ තරගාරම්භයෙන් මිනිත්තු 25ක් වන තැන මොහොමඩ් මුර්ෂිඩ් විසින් වාර්තා කල ගෝල දිනුමත් සමඟිනි. ඉන්පසුව ප්‍රථම අර්ධයේ දි වාර්තා වූ අවසන් ගෝල 45+2 මිනිත්තුවේදි මොහොමඩ් අකීබ් විසින් වාර්තා කල අතර 02-00 ලෙස ප්‍රථම අර්ධය නිමාවට පත්විය.

මඳ විවේකයකින් පසුව අැරඹි දෙවන අර්ධයේදි තවත් ලකුණු දෙකක් තුඅාන් අතීක් (83වැනි මිනිත්තුව) ගෝල දිනුමක් මඟින් ද මොහොමඩ් ශහීල් (89වැනි මිනිත්තුව) දඬුවම් පහරක් මඟින් ද රැස් කරන ලදි.

අවසන් ලකුණු – සහිරා විද්‍යාලය 04 – 00 වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – තුඅාන් අතීක්

වැඩිදුරටත් කියවන්න පිවිසෙන්න

දවසේ නිමාව