ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියර අද ආරම්භ වූයේ හොං කොං හීදීයි. පළමු දිනය තුල ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එහිදී ඔවුන් සහභාගී වූ තරග 3න්  2ක් ජය ගන්නට සමත් විය. B කාණ්ඩයේ අපරාජිතව පෙරමුණ ගත්තේ සත්කාරක හොං කොං කණ්ඩායමයි.‍

පසුගිය ලිපි: ආසියානු සත් සාමාජික රග්බි සටනේ ශ්‍රී ලංකා බල ඇණිය

මේ අතර පසුගිය වසරේ ශූරයන් වන ජපානය මේ වසරේ පළමු අදියර වූ හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අසමත් වීම කැපී පෙනුනි. ජපානයට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකිවූ පළමු අවස්තාව මෙය විශේෂත්වයකි. A කාණ්ඩය යටතේ අද පැවති තරග වලදී ඔවුන් චීනය සහ දකුණු කොරියාව හමුවේ පරාජයට පත්විය.

චීනය මෙම තරගාවලියේ පෙරලිකාරයන් බවට පත් වූයේ අද දිනය තුල ප්‍රබල ජපානය මෙන්ම දකුණු කොරියාවද පරාජය කරමින් A කාණ්ඩයේ පෙරමුණ ගනිමිනුයි. B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට කුසලාන අවසන් පූර්ව වටයේදී A ණ්ඩයේ ප්‍රමුඛයන් වූ චීනය සමගින් තරග වැදීමට නියමිතයි.


ශ්‍රී ලංකාව 43 – 12 චීන තායිපේ

අද දිනයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය පැවැත්වූයේ චීන තායිපේ කණ්ඩායම සමගයි.

තරග ආරම්භ කරමින් එල්ල කළ පළමු පහරෙන් පසු, පළමු වරට ජේසන් දිසානායක අතට පන්දුව ලැබුණු විගසම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ප්‍රදර්ශනය කරමින් විශිෂ්ට ධාවනයක නිරත වුවත් තායිපේ පසුපෙළ ආරක්ෂකයන් විසින් ඔහුව වලක්වනු ලැබීය. චීන තායිපේ නිදහස් විසිකිරීමක් (LINE-OUT) තමන් සතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජේසන් දිසානායක පළමුවෙන් ලකුණු වාර්තා කිරීමට සමත් විය.

වැඩි වෙලාවක් ගතවන්නට පෙර ජේසන් දිසානායක යලිත් වරක් උත්සාහක දිනුම් රේඛාව පසුකරන්නට සමත් වූ අතර,  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන්වන උත්සාහක දිනුම වාර්තා කළේ තම මංගල ජාත්‍යන්තර අත්දැකීම හිමිකරගත් තරින්ද රත්වත්තයි. ජේසන් දිසානායක එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17 – 00 ක් ලෙස පෙරමුණට ගෙන එමිනුයි.

ධනුෂ දයාන් සහ ශ්‍රී ලංකා 20න් පහළ නායක කෙවින් ඩික්සන් අතින් අලංකාර ලෙස තරින්ද වෙත පිරිනැමුණු පන්දුව රැගෙන ඔහු යලිත් උත්සාහක දිනුම් රේඛාව පසුකළ අතර දුලාජ් පෙරේරා පිටිය කෙලවරේ සිට එල්ල කළ සුපිරි ප්‍රවර්තනය සමගින් පළමු අර්ධය අවසන් වනවිට ලකුණු පුවරුව 24 – 00 ක් ලෙස දැක්වූයේ ශ්‍රී ලංකාවට වාසි සහගත ආකාරයටයි.

දෙවන අර්ධයේදී කෙවින් ඩික්සන් හට කහ කාඩ්පතක් ලැබී පිටියෙන් ඉවත්වීමට සිදුවීම ගත් චීන තායිපේ ක්‍රීඩකයන්, උත්සාහක දිනුම් දෙකක් සහ එක් ප්‍රවර්තනයක් මගින් ලකුණු ලබා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් නායක ධනුෂ්ක රංජන් තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම යලිත් තරගයේ පාලනය සියතට ගන්නා ලදී.

ඉන් අනතුරුව චීන තායිපේ ක්‍රීඩකයන්ට කිසිදු අවස්තාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම ලකුණු එකතුව වැඩිකර ගන්නට සමත් විය. ආදේශක ක්‍රීඩක කවිඳු පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 7 වන උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමග විනිසුරුවරයාගේ අවසන් සංඥාව නිකුත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණු පුවරුව දැක්වුණේ 43 – 12ක් ලෙසිනුයි. උත්සාහක දිනුම් 7ක් සහ ප්‍රවර්තන 4ක් මගින් ශ්‍රී ලංකාව ලකුණු රැස්කරන ලදී.


ශ්‍රී ලංකාව 40 – 21 මැලේසියාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන අභියෝගය වූයේ මැලේසියා කණ්ඩායමයි. එම තරගයේ ආරම්භයේදීම මැලේසියානුවන්ගේ අතපසුවීමකින් උපරිම ප්‍රයෝජන ගත් තරින්ද රත්වත්ත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ලකුණු වාර්තා කල අතර නැවත තරගය ආරම්භ වූ විගස පන්දුවේ අයිතිය තහවුරු කරගත් කෙවින්  ඩික්සන් ජාතික කණ්ඩායම වෙනුවෙන් තම පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. දුලාජ් පෙරේරාගේ සාර්ථක ප්‍රවර්තන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14 -00 ක් ලෙස පෙරමුණ ගන්නා ලදී.

කෙසේ වෙතත් මැලේසියානුවන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළේ පලමු අර්ධය අවසන් වීමට පෙර ලකුණු සමකිරීමත් සමඟිනි.  මේ අනුව පළමු අර්ධය අවසන් වන විට ලකුණු තත්ත්වය දැක්වූයේ 14 – 14 ක් ලෙසයි.

දෙවන අර්ධය ආරම්භයේදීම ශ්‍රී ලංකාවට දඬුවම් පහරක් හිමිවූ අතර දනුෂ දයාන් ලබාදුන් පන්දුව රැගෙන ධාවනයේ යෙදුනු හිරන්ත පෙරේරා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සමත් විය. මැලේසියානුවන් එල්ල කල පහරකින් පන්දුව හිමිකරගත් රංජන් කෙවින් ඩික්සන් වෙත එය භාර කල අතර ඔහු තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට සමත් විය.

සාලිය හඳපාන්ගොඩ සහ ජේසන් දිසානායකද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුම බැගින් එකතු කරන්නට පියවර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි පසු මැලේසියානුවන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළද, එයට ශ්‍රී ලංකා ජයග්‍රහණය වලක්වන්නට කිසිදු  බලපෑමක් එල්ල කල නොහැකි විය.

මේ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ 40 – 21 ක් ලෙසිනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 40ට උත්සාහක දිනුම් 6ක් සහ ප්‍රවර්තන 5ක් ඇතුලත් විය.


ශ්‍රී ලංකාව 00 – හොං කොං 22

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ අවසන් තරගයට එක්වන විට ශ්‍රී ලංකාව මෙන්ම හොං කොං කණ්ඩායමද කුසලාන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා සිටි අතර මෙම තරගය අවසන් පූර්ව වටයේ ප්‍රතිවාදීන් තීරණය කෙරෙන සටනක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත් නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන්ද සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායමට සත්කාරක හොං කොං ක්‍රීඩකයන්ගේ අභියෝගය මර්ධනය කිරීම අපහසු බව මුල සිට‍ම දක්නට ලැබුණි.

තරගය ආරම්භ වී මිනිත්තුවක් ගතවීමටත් මත්තෙන්, ලී ජෝන්ස් හොං කොං කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදී. තවත් මිනිත්තු එකහමාරක් ගතවීමට මත්තෙන් යලිත් වරක් සීමා ඉර පසු කල හොං කොං කණ්ඩායම පළමු අර්ධයේ වාසිය තමන් සතුකර ගන්නට සමත් විය.

මෙම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්තන අසාර්ථක වීම හේතුවෙන් පළමු අර්ධය අවසානයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 10 – 00ක් ලෙසයි.

දෙවන අර්ධයේද මිනිත්තුවක් ගතවීමටත් මත්තෙන් හොං කොං කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. කෙසේ වෙතත් එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායම යලිත් යම් තරගකාරී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළද, ඔවුන්ට ලකුණු ලබා ගැනීමට ප්‍රබල හොං කොං ආරක්ෂකයන්ගෙන් ඉඩ නොලැබුණි. එනමුත් අවසන් මිනිත්තුව වනතෙක්ම තම අන්තය ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂක ආවරණය අවසන් වරට බිඳ වැටුනේ ක්‍රීඩාංගනයට ඇදහැළුණු වර්ෂාවත් සමගයි.

අවසන් මිනිත්තුවේදී ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහුණු පන්දුව රැගත් හොං කොං ක්‍රීඩකයෙක් ඔවුන්ගේ සිව්වන උත්සාහක දිනුම සමගින් තරග ජයග්‍රහණය තහවුරු  කර ගන්නා ලදී.

තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 22 – 00 ක් ලෙසිනුයි.

හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ  අවසන් පූර්ව වටයේ තරග එරට වේලාවෙන් හෙට පස්වරුවේ ආරම්භ වන අතර ශ්‍රී  ලංකාව සහ චීනය අතර කුසලාන අවසන් පූර්ව වටයේ පළමු තරගය ආරම්භ වන්නේ ශ්‍රී  ලංකා වේලාවෙන් හෙට උදෑසන 10.42ටයි.

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ දෙවන අදියර දකුණු කොරියාවෙදීත්, තුන්වන සහ අවසන් අදියර ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතයි.


මේ අතර හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාවලියේ පළඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ ඊයේ ඔවුන් සහභාගී වූ අවසන් තරගයේදී උස්බෙකිස්ථානය ලකුණු 39 – 00 ක් ලෙස පහසුවෙන් පරාජය කරමිනුයි. හිටපු නායිකා අයේෂා පෙරේරා මෙම තරගයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කල අතර පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 24ක් ලබා ගත්තේ තවත් උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්තන 2ක් මගින්.

පළමු අර්ධයේ මෙන්ම දෙවන අර්ධය තුළදීත් උස්බෙකිස්ථාන ක්‍රීඩිකාවන්ට එකදු ලකුණක් හෝ ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැහැ. අවසන් මිනිත්තු 7 තුල තම ග්‍රහණය තවත් දැඩි කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් උත්සාහක දිනුම් 3ක් වාර්තා කරමින් මේ තරග ජයග්‍රහණය සම්පූර්ණ කරන්නට සමත් විය. අනුෂා අත්තනායක සහ දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිනුම් 2 බැගින් වාර්තා කරන ලදී.

දිනයේ පළමු තරගයේදී තායිලන්තය හමුවේ වරෙක ලකුණු 07 – 00 ක් ලෙස පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවත් එම වාසිය රඳවා ගන්නට අපොහොසත් වීම හේතුවෙන් ලකුණු 07 – 14 ක් ලෙස එම තරගය පරාජය විය. දෙවන තරගයේදී ඔවුන් ප්‍රබල චීන කණ්ඩායම හමුවේ තරග වැදුණු අතර චීනය මෙම තරගය පහසුවෙන් ජයගත්තේ ලකුණු 37 – 00 ක් ලෙසයි.

කෙසේ වෙතත් විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් දිනය අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ දෙවන දිනයේ (03) මෙරට වේලාවෙන් උදෑසන 8.52ට පළඟ අවසන් පූර්ව තරගයේ දී ඉහල මානසිකත්වයක් ඇතිව ගුවාම් ක්‍රීඩිකාවන් සමගින් තරග වදිනු ඇති.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට