එක්දින සංචිතයේ වෙනස්කම් 3ක්

1234
Dasun, Upul, Niroshan

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 5 වන සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනස්කම් 3ක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පසුගිය ලිපි: එක්දින තරගාවලියෙන් මැතිව්ස් ඉවතට

දකුණු පාදයේ කෙණ්ඩා ප්‍රදේශයේ ආබාධයක් හේතුවෙන් සිව්වන එක්දින තරගයෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හට ස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ඉදිරි තරග අහිමි වන අතර ඔහු වෙනුවෙන් කණ්ඩායමට කැඳවා තිබෙන්නේ 31 හැවිරිදි වමත් පිතිකරු උපුල් තරංගවයි.

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට සංචිතයට එක් කර ඇත්තේ කඩුලු රකින්නෙකු මෙන්ම පිතිකරුවෙකු ලෙසද කටයුතු කරන නිරෝෂන් දික්වැල්ල සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකවයි.

මෙසේ අලුතින් කැඳවා ඇති ක්‍රීඩකයින් තිදෙනාම එංගලන්ත තරග සංචාරයේදී තරග 3 – 0 ක පරාජයකට මුහුණදුන් එක්දින සංචිතයට ඇතුලත්ව, නමුත් ඕස්ට්‍රේලියානු තරගාවලියේදී මූලික සංචිතයට ඇතුලත් නොවූ ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ක්‍රීඩා ලෝව විචාරකයන් අතර බොහෝ කතා බහට ලක්වූ උපුල් තරංග නැවත සංචිතයට එක් කිරීම කණ්ඩායමේ ප්‍රවීනයෙකුගේ අත්දැකීම් ලබාදෙන තීරණයක් වන්නේ, තරංග එක්දින ජාත්‍යන්තර තරග 187කදී ශතක 13ක් ද ඇතුළුව ලකුණු 5511ක් ලබා ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වීම හේතුවෙනි.

නිරෝෂන් දික්වැල්ල 2014 වසරේදී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් හිමි කරගැනීමෙන් පසු එක්දින තරගයකට තවමත් ක්‍රීඩා කර නැත. තම මංගල එක්දින තරගයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 42ක් වාර්තා කරමින් කඩුලු 5ක්ද දවාගත් දසුන් ශානක ඉන් අනතුරුව එක්දින තරග 5කදී ලබාගෙන ඇත්තේ ලකුණු 64ක් සහ එක් කඩුල්ලක් පමණයි.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් තරග 3 – 1 ක් ලෙස ජයගන්නට ස්ට්‍රේලියාව සමත්ව සිටින්නේ පසුගිය බදාදා, දඹුල්ලේදී පැවති 4වන එක්දින තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමත් සමගයි. ඇන්ජලෝ මැතිව්ස්ට තරගාවලිය අහිමි වීම හේතුවෙන් අවසන් එක්දින තරගයේදී සහ විස්සයි – විස්ස තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරෙනු ඇති. ඔහු මීට පෙර 2013 වසරේදී දකුණු  අප්‍රිකාව සමග පැවති තරග 2කදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩාමේ නයකත්වය දරා ඇති අතර එම තරග දෙකම ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

5වන එක්දින තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය  – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක,ධනංජය ද සිල්වා අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, සචිත් පතිරණ, දිල්රුවන් පෙරේරා, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, අමිල අපෝන්සෝ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට