ගෙවුනු දවස අගෝස්තු 25 – කණ්ඩායම් දෙකේම වෙනස්කම්

384
August - 25

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

ඕස්ට්‍රේලියා නායකයා ගෙදර යයි  

ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ඉතිරි එක්දින තරඟ හා 20-20  තරඟ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය, ප්‍රබල ආරම්භක පිතිකරු ඩේවිඩ් වොනර්ට ලබාදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් පසුව සැප්තැම්බර් 30 වනදා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු තරඟ සංචාරය ජයග්‍රහණය කිරීම ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්මිත්ව විවේක ගැන්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ස්මිත් ඉදිරි සතියේ දී තම මව්රට බලා පිටත්ව යාමට නියමිතව ඇත.

සම්පූර්ණ ලිපිය: ස්මිත්ගෙන් නායකත්වය වොනර්ට


ජාත්‍යන්තර තරගවලින් ඩිල්ෂාන් විශ්‍රාම ගනි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දිග්විජය කල ජේශ්ඨ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිත 3වැනි එක්දින තරගයෙන් සහ විස්සයි විස්ස තරග ද්විත්වයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරග සංචාරය වන්නේ මෙයයි.

වසර 17ක සිය වෘත්තීය ක්‍රිකට් දිවියේ එක්දින තරග 329කට සහභාගී වෙමින් ලකුණු 10248කට අධික ලකුණු සංඛ්‍යාවක් වර්තා කල ඩිල්ෂාන් එලඹෙන ඔක්තොම්බර් මාසයේදි 40වැනි වියට පා තබයි.

සම්පූර්ණ ලිපිය: ඩිල්ස්කූප් නිර්මාතෘ ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යයි


ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඩයක් සහ අවවාදයක්

ඊයේ (24) පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරගය අතරතුරදී, ජගත් ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට තරග මුදලින් 15%ක දඩ මුදලක් පනවන්නට සහ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් හට දැඩි ලෙස අවවාද කිරීමට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

සම්පූර්ණ ලිපිය: විනය කැඩූ තිසරට දඩ – ස්ටාක්ට අවවාද


ලහිරුත් ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින ජාත්‍යන්තර තරඟය සඳහා නවක දකුණත් වේග පන්දු යවන තරුණ ක්‍රීඩක ළහිරු කුමාරව කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ත්‍රිත්ව විද්‍යාලය මගින් බිහිකළ වයස අවුරුදු 19ක් වන  මෙම තරුණ ජවසම්පන්න ක්‍රිකට් ක්‍රීඩකයා දැක්වූ ඉහළ දස්කම් නිසා තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති අතර අනතුරුව එක්දින සංචිතය සඳහා මිලින්ද සිරිවර්ධන වෙනුවට ළහිරුව කැදවීමට තීරණය කර ඇත.

සම්පූර්ණ ලිපිය: වේග පන්දුවේ සවියට ලහිරු කුමාර


මෝටර් රේසින්

රණවිරුවන්ට සවියක් වන ගජබා සුපර්ක්‍රොස්

පුරා දශක තුනකට අධික කාලයක් පුරාවට බෙදුම්වාදී ත්‍ර‍ස්තවාදී අරගලයට එරෙහිව සටන් වැදෙමින් ජීවිතය පූජා කල උදාර රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුඛවිහරණයටත්, සතුරන්ට එරෙහිව මුහුණදුන් සටන් වලින් ආබාධිත වු රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුභසිද්ධියත්, ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු සොල්දාදුවන්ගේ සුභාසාධනයත්  අරමුණු කරගනිමින් පැවැත්වෙන, වසරේ මොටර් රථ ධාවන ක්‍රීඩකයින්ගේ තරග සැණකෙලිය වු ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය මෙවරත් අතිඋත්කර්ශවත් අයුරින් අනුරාධපුර ගජබා රෙජිමේන්තු මුලාස්ථාන පරිශුයේ ස්ථාපිත සාලියපුර සුපර්ක්‍රොස් ධාවන පථයේදි පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර අවසන්ය.

මෙවර තරගාවලිය තරඟ ඉසව් 23කින් සමන්විත වන අතර එයට මෝටර් රථ ධාවන ඉසව් 12ක් සහ වයස අවුරුදු 07/10, 13 සහ 16 වයස් කාණ්ඩයන්හි තරග තරග ඉසව් 3ක් ඇතුළුව ඉතිරි ඉසව් 11 යතුරු පැදි අංශයට ලබා දී ඇති අතර එම ඉසව් සියල්ලම අතුරෙන් කාගේත් අවධානය දිනාගන්නා ඉසව්ව ලෙස SL-GT කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 3500cc මෝටර් රථ තරඟය හා දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් සහභාගි වන 125cc-250cc එන්ජින් ධාරිතාව ඇති යතුරු පැදි තරඟය හැදින්විය හැකිය.

සම්පූර්ණ ලිපිය: රණවිරුවන්ට සවියක් වෙන ගජබා සුපර්ක්‍රොස් 28 වැනිදා

දවසේ නිමාව