විනය කැඩූ තිසරට දඩ – ස්ටාක්ට අවවාද

543
Thisara Pereraa

ඊයේ (24) පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරගය අතරතුරදී, ජගත් ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට තරග මුදලින් 15%ක දඩ මුදලක් පනවන්නට සහ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් හට දැඩි ලෙස අවවාද කිරීමට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

පසුගිය ලිපි: ඩිල්ස්කූප් නිර්මාතෘ ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යයි

තිසර පෙරේරා හට මෙම දඩ මුදල පනවා ඇත්තේ ICC ක්‍රීඩක සහ පුහුණු/සහාය කාර්යමණ්ඩලය සඳහා වන චර්යා ධර්ම පද්ධතියේ 2.1.7 වගන්තිය කඩ කිරීම හේතුවෙනුයි. එම වගන්තියට අනුව පිතිකරුවෙකුට නිග්‍රහ කෙරෙන හෝ පිතිකරුගෙන් කෝපාවිෂ්ට ප්‍රතික්‍රියාවක් ලැබීමට හේතු වියහැකි වචන හෝ අංග චලනයන් භාවිතයතහනම් වනවා.

ස්ටාක් හට අවවාද කිරීමට හේතු වී ඇත්තේ චර්යා ධර්ම පද්ධතියේ 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීමයි. ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ වන ලෙස කටයුතු කිරීම තහනම්යන රීතිය පනවා ඇත්තේ එම වගන්තියෙනුයි.

ඊයේ තරගයෙන් පසු ICC ජාත්‍යන්තර තරග තීරක කමිටුවේ සාමාජික සහ මෙම තරගයේ තීරක ලෙස කටයුතු කල ජවගල් ශ්‍රීනාත් විසින් අදාළ ක්‍රීඩකයන් වෙත ඔවුන්ට අදාළ චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාම වරද පිළිගත් බැවින් ඒ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවීය.

තරග තීරකවරයා වෙත අදාළ චෝදනා පිලිබඳ පැමිණිලි කර ඇත්තේ ක්‍රීඩාංගනයේ විනිසුරුවන් ලෙස කටයුතු කල රවීන්ද්‍ර විමලසිරි සහ මයිකල් ගොෆ් මෙන්ම තෙවන විනිසුරු අලීම් ඩාර් සහ අතිරේක විනිසුරු රැන්මෝ මාටිනස් විසිනුයි.

තිසර පෙරේරාට දඩ මුදලක් ගෙවීමට මුල්වූ සිදුවීම හටගත්තේ ඔහු විසින් පළමු ඕස්ට්‍රේලියානු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් දවා ගත් අවස්ථාවේදීයි. එහිදී තිසර භාවිත කල වචන සහ හස්ත සංඥා දැවී ගිය පිතිකරුට අවමන් වන හෝ ගැටුමකට මුලපිරිය හැකි තත්ත්වයක් ලෙස තරග තීරක වරයා විනිශ්චයක් ලබාදී ඇත.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ ස්ටාක් විසින් ඔහුගේ 3 වන පන්දු වාරය අවසන් කර ඒ වනවිට පිතිකරණ අන්තයේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් දෙසට පන්දුව දමා ගැසීම හේතුවෙන් ස්ටාක්ට ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා වන පරිදි ක්‍රීඩා කරන ලෙස දැඩි අවවාදයක් ලැබී ඇත. පිතිකරු ලකුණක් ලබා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරන අවස්ථාවක ඔහු රැඳී සිටින කඩුල්ල දෙසට පන්දුව දමා ගැසීමට අවශ්‍යතාවක් පන්දු යවන්නාට හෝ පන්දු රකින්නන්ට ඇතිවන්නේ නැහැ.

තිසර සහ ස්ටාක් යන දෙදෙනාම වරදකරුවන් වූ පළමු මට්ටමේ වැරදි (Level 1 breaches) සඳහා අවම වශයෙන් අවවාද කිරීමක් හෝ තරග මුදලින් 50% ක් දක්වා වූ උපරිම දඩ මුදලක් වනතෙක් දඬුවමක් නියම කිරීමේ හැකියාව පවතියි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට