ධනංජයගේ තරගයේ වීරයා සම්මානය අබීද් අලි පැහැර ගනියි!

72

තණතිල්ලේ හැසිරීම අනුව දින 5ම ක්‍රීඩා කිරීමට හැකි වූවානම් ඉතාමත් උණුසුම් තරගයක් බවට පරිවර්තනය වන්නට තිබූ ශ්‍රී ලංකා – පාකිස්තානු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වර්ෂාවේ බාධා නිසා අද නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි. රාවල්පින්ඩි හිදී පැවති මෙම තරගයේ අවසන් දිනය වූ අද දිනයේ (15) ඉතාමත් පැහැබර කාලගුණයක් දැක ගන්නට ලැබුනද ටෙස්ට් තරගයක අවසන් ප්‍රතිඵලය දැක බලා ගැනීමට නම් එම කාලය ප්‍රමාණවත් වූයේ නැත.

ආරක්ෂක තත්ත්වය ගැන නොසතුටු වූ ශ්‍රී ලංකා ඉදිරි පෙළ ක්‍රීඩකයින් පාකිස්තානයේ පැවැත්වුනු සීමිත පන්දුවාර තරගාවලි ප්‍රතික්ෂේප කළද ටෙස්ට් සංචාරයට එක්වුනේ සම්පූර්ණ කණ්ඩායමක් ලෙසයි. කෙසේ නමුත් ඔවුන්ට මෙම තීරණාත්මක තරගාවලියට පෙරාතුව පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට ලැබුනේ නැත. එබැවින් පළමු තරගය පැවති කෙටි කාල සීමාව තුල ශ්‍රී ලංකා පිළ දැක්වූ දක්ෂතා ගැන යම්තාක් දුරකට සෑහීමකට පත් වීමට හැකිය.

දිමුත් කරුණාරත්නට කාසියේ වාසිය දිනා දෙමින් ආරම්භ වූ තරගයේ මුලින් පිතිකරණයේ යෙදුනේ ශ්‍රී ලංකා පිළයි. එය මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ධනාත්මක මානසිකත්වය ගැන හොඳ ඉඟියක් බවට පත්විය. ඒ අනුව අද පස්වැනි දිනය දක්වාම වර්ෂාවේ බාධා කිරීම් මැද කඩින් කඩ පිතිකරණයේ යෙදුනු ඔවුන් ඉනිම අත්හිටුවන විට කඩුලු 6කට ලකුණු 308ක් ලබා සිටියහ. මෙම සාර්ථකත්වයට පදනම වැටෙන්නේ නායක දිමුත් සහ ආරම්භක පිතිකරණ ස්ථානයේ අත්හදා බැලුනු ඕෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 96ක සබඳතාවය නිසාවෙනි.

එහිදී දිමුත් තම 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස ලකුණු 59ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් එල්ල කරමිනි. ජාතික වරම් ලැබූ දා සිටම ස්ථාවර පිතිකරුවෙකුගේ භූමිකාව නිරූපණය කරමින් සිටින ඕෂධ ලකුණු 40යි. මීට අමතරව උප නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් රැස් කළේය. කෙසේ නමුත් කලකට පසු කණ්ඩායම සමඟ එක්වුණු දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී පිත්තෙන් කැපී පෙනෙන යමක් කිරීමට සමත් වූයේ නැත.

මෙවන් තත්ත්වයක් යටතේ මැදපෙළ වගකීම සම්පූර්ණයෙන්ම දරාගෙන ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 අභිබවා ඉදිරියට ගෙන යාමට උපකාරී වූයේ ධනංජය ද සිල්වාගේ සුපරික්ෂාකාරී පිතිකරණයයි. පළමු දිනයේ සිටම වගකීම් සහගතව පන්දු තෝරා බේරාගත් ඔහු අද තම මහන්සියේ අස්වනු නෙලා ගත්තේ ටෙස්ට් දිවියේ සයවැනි ශතකය වාර්තා කරමිනි. 

පන්දු 166ක් පුරා නොදැවී පන්දුවට පහර දුන් ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 15ක් ඇතුළත් විය. ධනංජය ශතකය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පිළ ඉනිම අත්හිටුවන්නේ අවසන් දිනයේ තවදුරටත් පිතිකරණයේ යෙදීම ඵල රහිත ක්‍රියාවක් නිසාවෙනි.

පාකිස්තානු පිළ ද තම මව්බිම තුල කලකට පසුව ලැබුණු ටෙස්ට් තරගයේ දී ගෞරවය ආරක්ෂා කර ගනිමින් තරගය නිමා කරන විට කඩුලු 2කට ලකුණු 252ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී කැපී පෙනුනේ අද තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අබීද් අලි ලබාගත් විශිෂ්ට ශතකයයි. අද දිනය තුලදී පන්දු 201කට සාර්ථකව මුහුණ දුන් 32 හැවිරිදි මෙම “තලතුනා නවකයා” ලකුණු 109ක් ලබා ගත්තේ හතරේ පහර 11ක් සමඟිනි. 

දකුණතින් පිත්ත හසුරුවන ඔහු අද පන්දු තෝරා බේරා ගනිමින්, තම අන්තය නිරන්තරයෙන් හුවමාරු කරගෙන ක්‍රීඩා කරන අයුරු දකින විට කිසිවෙකුට ඔහු මේ ක්‍රීඩා කරන්නේ මංගල ටෙස්ට් තරගයට බව පිලිබිඹු වූයේ නැත. අබීද්ගේ මෙම දක්ෂතාව ක්‍රිකට් ඉතිහාසය තුල නොමැකෙන අයුරින් සටහන් වූයේ ‘ටෙස්ට් සහ එක්දින තරග රටා දෙකේදීම මංගල තරගයේ දී ශතක රැස් කළ එකම පිතිකරුවා’ ලෙසයි.

අලි සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ශතක සබඳතාවයක් ගොඩ නැගූ බාබර් අසාම් අද තරගයේ නිමාව සනිටුහන් කරමින් ශතකයක් වාර්තා කළේ අද දිනයේ එවැනි භාග්‍යයකට උරුමකම් කියූ තුන් වැන්නා ලෙසයි. ඒ වෙනුවෙන් පන්දු 128ක් පමණක් වැයකල අසාම් අද වාර්තා කළේ ටෙස්ට් තරගය දිවියේ දෙවැනි ශතකයයි. ඊට හතරේ පහර 14ක් ඇතුළත් විය. මීට අමතරව පාකිස්තානු ඉනිම වෙනුවෙන් නායක අසාර් අලි ලකුණු 36ක් රැස් කරගත් අතර ශාන් මසූඩ් කිසිදු ලකුණක් රැස් කිරීමට පෙර කසුන් රාජිතගේ පන්දුවකට ගොදුරු විය.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය නිමාවට පත්වූයේ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ කණ්ඩායම් දෙකටම ලකුණු 20 බැගින් තෑගි කරමිනි. මෙම ප්‍රතිඵලයත් සමඟින් ටෙස්ට් ශූරතාවලියේ තරග 3කට මුහුණ දී සිටින ශ්‍රී ලංකා පිළ ලකුණු 80ක් ලබා ගනිමින් නවසීලන්තය පසුකර යමින් තෙවැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. කෙසේවෙතත් මේ වනවිට එම සටහනේ මුල් ස්ථාන දෙකේ සිටින ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග 7 බැගින් ක්‍රීඩා කරමින් පිළිවෙලින් ලකුණු 360ක් සහ 176ක් ලබා සිටියි.

එබැවින් මෙම පරතරය හැකිතාක් අවම කිරීමට නම් ලබන 19 වැනිදා කරච්චි හිදී ඇරඹෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණයක් වාර්තා කිරීම වැදගත් වනු ඇත. කරුණු කාරණා ඒ ආකාරයෙන්ම ඉටු වුවහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 140ක් සහ මෙම ඓතිහාසික ටෙස්ට් තරගාවලියේ කුසලානය ද සමඟින් නැවතත් දිවයිනට ලඟා වන්නට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා (පළමු ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 308 (පන්දුවාර 97)

ධනංජය ද සිල්වා 102*, දිමුත් කරුණාරත්න 59, ඕෂධ ප්‍රනාන්දු 40, නිරෝෂන් දික්වැල්ල 33, ඇන්ජෙලෝ මැතිව්ස් 31, දිල්රුවන් පෙරේරා 16*, කුසල් මෙන්ඩිස් 10, ශහීන් අෆ්රිඩි 2/58, නසීම් ශාහ් 2/92.

පාකිස්තාන (පළමු ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 252 (පන්දුවාර 70)

අබීද් අලි 109*, බාබර් අසාම් 102*, අසාර් අලි 36, කසුන් රාජිත 1/5, ලහිරු කුමාර 1/46.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<