ගෙවුණු දවස ජුනි 08 – මලල ක්‍රීඩකයින් ආසියාව හොල්ලයි

229

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

සාන්ත තෝමස්, සාන්ත අන්තෝනි ජය ගනී

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන් සති අන්තයේ තරග දෙකක් ඊයේ පැවති අතර එහි දී ධර්මරාජ ක්‍රීඩකයින් පරාජය කරමින් 32-12ක් ලෙස දැවැන්ත ජයක් හිමි කර ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සමත් විය. තරගය බෝගම්බර ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

එමෙන්ම ඊයේ පැවති තවත් තරගයකින් මෙතෙක් පලඟ ශූරතාවයේ අපරාජිත සාන්ත තෝමසුවන් තවදුරටත් ඔවුන්ගේ අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වූයේ ඩී. එස්. ක්‍රීඩකයින් පරාජය කරමිනි. ලකුණු 24-19ක් ලෙස නිමා වූ මෙම තරගය හැව්ලොක් පිටියේ දී පැවැත්විය.

තරග වාර්තා සියල්ල සිංහලෙන් කියවන්න පිවිසෙන්න – රග්බි පිටුවට


    ක්‍රිකට්    

ශ්‍රී ලංකාව 360ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (08) නිමා වෙද්දී, තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබා සිටිය හ. පළමු  ඉනිමේ වැඩි ලකුණු 229ත් සමඟින් කොදෙව්වෝ මේ වෙද්දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් පසුවෙති. ඒ තවත් කඩුලු 6ක් ද අතැතිව ය.

ට්‍රින්ඩෑඩ් හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ දෙවැනි දිනය නිමාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබා සිටි අසීරු තත්ත්වය තව දුරටත් තෙවැනි දිනයේ දී ද ගෙන යමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 185කට සීමා විය. මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොදෙව්වන් හමුවේ ලබා ගත් අඩුම ලකුණු අතර තෙවැනි තැන ගත් අතර ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. මීට ප්‍රථම 2008 වසරේ දී ඔවුන් ලබා සිටි අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ සියලුම දෙනා දැවී 268යි.

සම්පූර්ණ වාර්තාව: බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාව 360ක් පිටුපසින්


  මලල ක්‍රීඩා  

කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් රිදී දිනති

ජපානයේ ගීෆූ නුවර දී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එහි දී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශනත්, එම ඉසව්වේම රිදී පදක්කම පසිඳු කොඩිකාරත්, මීටර් 400 බාලිකා ඉසව්වේ රිදී පදක්කම ඩිලිෂි කුමාරසිංහත් සහ මීටර 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම අමාෂා ද සිල්වා විසිනුත් දිනා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා යෞවනයෝ ආසියාවේ දැවැන්තයින් හමුවේ රන් රිදී දිනති

දිනයක නිමාව