ගෙවුණු දවස ජනවාරි 17 – පුහුණු තරගයේ දී කුසල්ට ඇබැද්දියක්

219

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

පොඩි කුසල්ට තරගාවලිය මග හැරෙයි ද?

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තව නොබෝ දිනකින් ආරම්භ වීමට සියලුම කටයුතු සූදානම්ව ඇති මොහොතක ශ්‍රී ලාංකීය ක්‍රිකට්ලෝලීන් හට තරමක කණගාටුදායක පුවතක් ඊයේ (17) වාර්තා විය.

එනම් පසුගිය වසරේ ටෙස්ට් ලකුණු 1000 සීමාව ඉක්මවා යමින් එම වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගවල දී වැඩිම ලකුණු ලාභියා වීමේ ගෞරවනාමය හිමිකරගත් කුසල් මෙන්ඩිස් ඊයේ (17) දිනයේ දී ඕස්ට්‍රේලියානු සභාපතිගේ කණ්ඩායම සමඟ පැවති පෙරහුරු තරගය අතරතුර දී ආබාධයකට ගොදුරු වීමයි.

ඩිල්රුවන් පෙරේරා විසින් යැවූ පන්දුවකට ජේක් ඩෝරන් විසින් වැරෙන් එල්ල කළ පුල් පහර ෂෝට්-ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ අත ප්‍රදේශයට එල්ල වීමෙන් අනතුරුව ඔහු ඉතා දැඩි වේදනාවකින් පසු වූ බව පුනරූපනයන් හී දර්ශනය විය.

සම්පූර්ණ වාර්තාව: පොඩි කුසල්ට ආබාධයක්; තරගාවලිය අහිමි වෙයි ද?

ධනංජය කඩුලු 5ක් සමඟින් නැවතත් දස්කම් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ආරම්භ කරමින් ඊයේ (17) පැවති තරග අතරින් සැරසන්ස් කණ්ඩායමේ ගමිඳු කනිෂ්ක සහ ප්‍රමෝද් මධුවන්ත ලකුණු අතරට පිවිසෙමින් ප්‍රතිවාදින්ට එරෙහිව ශතක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ.

දිනයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකාරිත්වය ගමිඳු කනිශ්ක සතු විය. ඊට අමතරව ප්‍රමෝද් මධුවන්ත (93*) සහ ලහිරු උදාර (85) ද ලකුණු අතරට පිවිසෙමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළහ. පන්දු යැවීමේ දී රමිත රඹුක්වැල්ල සහ අකිල දනංජය කඩුලු 5 බැගින් දවා ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත් වූහ.

සම්පූර්ණ වාර්තාව: ගමිඳු සහ ප්‍රමෝද් ශතක සබඳතාවකින් සැරසන්ස් සරසයි

කැන්ගරුවන්ට එරෙහි පුහුණු තරගයේ පළමු දිනය නිමා වෙයි

අසාර්ථක නවසීලන්ත සංචාරයකට පසු ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත කෙටි තරග සංචාරයක මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම නිරත වෙමින් සිටියි.

ඊට පෙර සූදානමක් වශයෙන් තුන්දින පුහුණු තරගය ඊයේ (17) වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන හෝබාර්ට් නුවර බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. විශේෂත්වය වන්නේ මෙය පුහුණු තරගයක් පමණක් වුවද දිවා – රාත්‍රි ටෙස්ට් තරගයක් වශයෙන් පැවැත්වීමයි.

එහි දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ජෝ බර්න්ස් මුලින් පිත්ත අතට ගැනීමට තීරණය කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සයවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ කසුන් රාජිත ඕස්ට්‍රේලියානු නායකයාව නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමින් තම කණ්ඩායම වෙනුවෙන් පළමු වෙඩිමුරය දැල්වීය. ඒ බර්න්ස්ගේ පිත්තේ දැවටී ඇදී ගිය පන්දුව තෙවැනි ස්ලිප් හි පන්දු රැකි ධනංජය සිල්වා ගුවනේ ඉගිලී ගොස් අනර්ඝ උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගැනීම හේතුවෙනි.

සම්පූර්ණ වාර්තාව: චමීර සහ රාජිත ලබා දුන් සුපිරි ආරම්භයට පැටර්සන් හරස් කපයි

දිනයක අවසානය