කුලසේකර හා ලහිරු කුමාර එක්දින සංචිතයට

2378
Kulasekara and Kumara

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (6) සූරියවැව දී ආරම්භ වන තෙවන එක්දින තරගයට පෙර තවත් වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙපලක් සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවේ ඉරණම කෙසේ වේවි ද?

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ..

සංචිතය සඳහා තවත් වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් කිරීමට සිදු වී ඇත්තේ, සුරංග ලක්මාල් වෛරස් උණකට ගොදුරු වී ඇති නිසාවෙනි. වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අවසන් තරග තුන සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කළ ද, ඔහුට දැන් එම අවස්ථාව මඟ හැරෙනු ඇත.

“ලක්මාල් මීට දින දෙකකට පෙර පටන් අසනීප තත්ත්වයකට ලක්වෙලා තියෙනවා, ඒක නිසා අපි ලක්මාල්ව නැවතත් කොළඹට පිටත් කිරීමට තීරණය කළා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.

වසර දෙකකට පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන, හම්බන්තොට සූරියවැව පිටියේ තණතීරුව හැසිරෙන අකාරය අනුව වේගපන්දු යවන්නන් තිදෙනෙකු බොහෝ දුරට හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇත.

“අපි දින 5ක් තුල තරග 3ක් මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරනවා. ඒක නිසා අපට තව වේගපන්දු යවන්නන් කිහිප දෙනෙකුම අවශ්‍යයි. ඒක නිසා නුවන් කුලසේකර හා ලහිරු කුමාරව ඉදිරි තරග තුන සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට අපි තීරණය කළා. මේ සඳහා අවශ්‍ය අනුමැතිය ඉක්මනින්ම ලැබේවි.” යැයි නායක මැතිව්ස් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

2011 වර්ෂයේ දී පැවැත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය දැක්වූ, මෙම ක්‍රීඩා පිටිය රුපියල් බිලියන 4.2ක වියදමක් සිදු කරමින් නිර්මාණය කර ඇති අතර, 2012 වර්ෂයේ දී පැවැත්වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද සත්කාරකත්වය ලබා දෙන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේ දී ජාත්‍යන්තර එක්දින තරග 17කට මුහුණ දී ඉන් තරග 13ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.

මෙම තරගාවලිය ආරම්භ කරමින් වර්ෂ 17කට පසුව, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අනපේක්ෂිත හා අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදුවිය. නමුත් ඉන්පසුව පැවැත්වූ දෙවැනි තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගාවලියට අවතීර්ණ වූයේ, 1-1ක් ලෙස තරගාවලිය සම මට්ටමකට ගෙන එමිනි.

“අපි බොහෝ දුරට ඉකුත් තරගයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම ම සමඟින් හෙට (6) පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි නායක මැතිව්ස් හෙට පැවැත්වෙන තරගය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<