ගෙවුණු දවස ජනවාරි 14 – තෙවන වරටත් ශූරතාවය කොළඹට

181

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   පාපන්දු   

රිනවුන් අත තිබූ ශූරතාවය කොළඹට

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරගය ලෙස ඊයේ (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති රිනවුන් SC කණ්ඩායම සහ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අතර තරගය, ගෝල 0-1ක් ලෙස ජයග්‍රහණය කළ කොළඹ පාපන්දු සමාජය තරගාවලිය තුළ ඉහළ ගෝල වෙනසක් රඳවා ගැනීම තුළින් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

  • සම්පූර්ණ කාලය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 01 කොළඹ පාපන්දු සමාජය
  • ThePapare.com තරගයේ වීරයා – රව්මි මොහිදීන් (කොළඹ පාපන්දු සමාජය)

සම්පූර්ණ වාර්තාව: ශූරයින්ගේ කුසලානය අඛණ්ඩව තුන්වන වරටත් කොළඹට


    රග්බි    

B කාණ්ඩයේ කාලසටහන නිකුත් වේ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් රග්බි තරගාවලිය ලබන මාර්තු මස 9 වැනිදා සිට ආරම්භ වේ. තරගාවලියේ A කාණ්ඩයේ කාලසටහන පසුගිය දා නිකුත් කළ අතර මේ වන විට B කාණ්ඩයේ කාලසටහන ද මාධ්‍ය වෙත නිකුත් කර අවසන්ය.

B කාණ්ඩයේ සිටින ප්‍රබලයින් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය සඳහන් කළ හැකිය. ඒ අතුරෙන් විද්‍යා විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය ගියවර ඔවුන්ට අහිමි වී ගිය A කාණ්ඩයේ ස්ථාන යළිත් දිනා ගැනීම උදෙසා කරට කර සටන් කරනු ඇත.

සම්පූර්ණ වාර්තාව: B කාණ්ඩයේ තරග කාලසටහන නිකුත් වේ


    ක්‍රිකට්    

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

මතු දිනයක ක්‍රිකට් ලොව දැවැන්තයින් වීමට සිහින දකින ක්‍රීඩකයින්ගේ මෞලි මංගල්‍යය වන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දිනවල දී පැවැත්වෙන්නේ නවසීලන්තය කේන්ද්‍ර කොට ගනිමිනි.

එහි පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14) ප්‍රතිවාදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක සුපිරි ජයක් ලබා ගැනීමට සමත් විය. එම ජයග්‍රහණය පිටුපස සිටිමින් දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කළ ධනංජය ලක්ෂාන් ඊයේ නොදැවුණු විශිෂ්ට ශතකයක් වාර්තා කර ගනිමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවේය.

සම්පූර්ණ වාර්තාව: කමිඳු – ලක්ෂාන් විශිෂ්ට සබඳතාවය නිසා නවසීලන්තයේ දී සිංහ කොඩිය රැව්දේ!


මිලන්තගෙන් සුපිරි දස්කම්

දේශීය පිටියෙන් ජාත්‍යන්තර පිටියට සංක්‍රමණය වීමට අත්වැල් සපයන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 6ක්ම ඊයේ (14) දිනයේ දී නිමාවට පත්විය.

එහි දී ජයග්‍රහණ වාර්තා කර ගැනීමට හලාවත මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බදුරලිය ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත්කම් දැක්වූහ. ඒ අතරතුර ඊයේ දිනයේ සුවිශේෂීම සිදුවීම බවට පත්වූයේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන කුසලතා පූර්ණ යොවුන් පිතිකරුවෙකු වන ලහිරු මිලන්ත ඉනිම දෙකේ දී ම ශතක රැස්කර ගැනීමයි.

සම්පූර්ණ වාර්තාව: ලහිරු මිලන්තගෙන් එකම තරගයක දී විශිෂ්ට ශතක දෙකක්!

දිනයක නිමාව