ගෙවුණු දවස ජූලි 11 – ක්‍රිකට්, පාපන්දු, මලල ක්‍රීඩා පිටිය උණුසුම්

308

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

A කණ්ඩායමේ වගකීම් තිසරට

එළඹෙන 17 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ A – ශ්‍රී ලංකා A නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත ලබා දී ඇත.

තිසර පෙරේරා මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන දේශීය විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා දිවයිනෙන් පිටව ගොස් ඇති නමුත් ලබන 17 වැනිදා බංග්ලාදේශයේ සිලේට් හිදී ආරම්භ වන ක්‍රිකට් තරගාවලිය සඳහා තිසර පෙරේරා සහභාගී වනු ඇත. එම කණ්ඩායමේ උප නායකත්වය තුන් ඉරියව් වේගපන්දු යවන ක්‍රීඩක දසුන් ශානකට හිමිව තිබේ.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා A නායකත්වය වෙනස් වේ; සංචිතයේත් වෙනස්කම්

ශෙහාන් දැවැන්ත පිතිකරණයක

සංචාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ගෞරවනීය තැනක තබමින් ෂෙහාන් ජයසූරිය ඊයේ (11) තම නව වැනි පළමු පෙළ ශතකය බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව වාර්තා කළේ ය. සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වර්ණවත් කළ ජයසූරියගේ ඉනිම ලකුණු 142කි. පන්දු 155ක් පුරා පිටියේ රැදි සිටි ජයසූරිය හතරේ පහර 15කින් සහ හයේ පහර 4කින් තම ඉනිම සරසා ගත්තේ ය.

පෙර දිනය අවසාන වෙද්දී පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 53ක් ලබා සිටි වමත් ආරම්භක පිතිකරු ජයසූරිය ඊයේ රැස් කළ ලකුණු ප්‍රමාණය 89කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 104ක් වැය කළේය.

සම්පූර්ණ වාර්තාව: ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව ගෞරවනීයත්වයට පත් කරයි


මලල ක්‍රීඩා –

අමාෂා සහ අරුණ දස්කම් අතරට

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය, අරුණ දර්ශන හා නැගී එන කනිෂ්ඨ ධාවන රැජින අමාෂා ද සිල්වා ඊයේ (11) ෆින්ලන්තයේ Tampere හිදී IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ ශූරතාවලියේ තරග බිමට පිවිසුණි.

තරගාවලියේ දෙවන දිනය වන ඊයේ දිනයේ අමාෂා, අරුණ දෙදෙනාම සිය ඉසව්වල අවසන් පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් ලැබූ අතර එම තරග හෙට (12) පැවැත්වෙනු ඇත. අරුණ පළමු තේරීම් තරගය ජය ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසුණු අතර අමාෂා තේරීම් තරගය අවසන් කළේ පස්වැනියා ලෙස වුවත් තේරීම් තරගවල වේගවත්ම පරාජිතයින් සිව්දෙනා අතරට ඇතුළත්වීමට හැකි වීම නිසා ඇයට ද අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි විය.

සම්පූර්ණ වාර්තාව: අරුණ හා අමාෂා ජාත්‍යන්තරයට අභියෝගයක් වෙයි

පාපන්දු –

ලිතුවේනියා ක්‍රීඩකයෝ පලිගනිති

ලිතුවේනියා කණ්ඩායම සුහද තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ නිරත වන අතර ඉන් දෙවන සුහද තරගය ඊයේ (11) කොළඹ තුරඟ තරග පිටියේ දී ශ්‍රී ලංකා B කණ්ඩායම හා ලිතුවේනියා B කණ්ඩායම අතර පැවැත්විය. පළමු තරගයේ වාඩුව ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ ලිතුවේනියා ක්‍රීඩකයෝ ගෝල 2-0ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ලිතුවේනියා කණ්ඩායම අතර පැවති පළමු තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

සම්පූර්ණ වාර්තාව: සංචාරක ලිතුවේනියාවෙන් සත්කාරක ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

දිනයක අවසානය