සංචාරක ලිතුවේනියාවෙන් සත්කාරක ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

742

ලිතුවේනියා කණ්ඩායම සුහද තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ නිරත වන අතර ඉන් දෙවන සුහද තරගය අද (11) කොළඹ තුරඟ තරග පිටියේ දී ශ්‍රී ලංකා B කණ්ඩායම හා ලිතුවේනියා B කණ්ඩායම අතර පැවැත්විය. පළමු තරගයේ වාඩුව ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ ලිතුවේනියා ක්‍රීඩකයෝ ගෝල 2-0ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ පාපන්දුව නැවතත් ජාත්‍යන්තරයට

වසර දෙකක පමණ දීර්ඝ කාලයකට පසුව ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි ශ්‍රී ලංකා ජාතික….

ශ්‍රී ලංකා කණ්ඩායම හා ලිතුවේනියා කණ්ඩායම අතර පැවති පළමු තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු තරගයේ අත්දැකීම් සමඟින් පිටියට පිවිසුණු ලිතුවේනියා ක්‍රීඩකයෝ පළමු මිනිත්තුවේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් විය. ලිතුවේනියා ක්‍රීඩකයින් තරගයේ වැඩි හරියක් ගත කළේ ශ්‍රී ලංකා අර්ධයේ වූ අතර ලිතුවේනියා ක්‍රීඩකයින්ගේ උස හා වේගය හමුවේ ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින්ට ඔවුන් නැවැත්වීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

තරගයේ තෙවන මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවත් සමඟ ඉදිරියට ගිය අතර දැවැන්ත ලිතුවේනියා ක්‍රීඩකයින්ගේ බාධා කිරීම් හමුවේ දිලාන්ගේ උත්සහයක් ඉලක්කගත වූයේ නැත.

ඉන්පසු දිගින් දිගටම ලිතුවේනියා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා අර්ධයේම රැඳී සිටි අතර ශ්‍රී ලංකා දඬුවම් පහර චතුරශ්‍රය තුල දී ම ඔවුන් අනගි පන්දු යොමු කිරීම් කරමින් පන්දුව හුවමාරු කරගත්තේ වරක් දෙවරක් නොව කිහිප වරක්ම ශ්‍රී ලංකා ආරක්ෂකයින් නොමග යවමිනි.

17 වන මිනිත්තුවේ දී ලිතුවේනියා ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ අතර SIMONAS එම අවස්ථාව සාර්ථක කරගත්තේ නැත. එක් අවස්ථාවක් අපතේ ගිය අතර 22 මිනිත්තුවේ ELIOSIUS හට හිමි වූ අනගි අවස්ථාවක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහනයක් වෙමිනි.

රොනාල්ඩෝ වසර 9ක් ක්‍රීඩා කළ සමාජය හැරයයි

පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුරෝ මිලියන 112ක මුදලකට (112m euros/£99.2m) ඉතාලියේ Juventus කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ…….

රිස්කාන් හා කවිඳු ඉශාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා කිහිපයක දී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සහ කළ ද ඔවුන්ගේ ‘Cross’ අවස්ථා සාර්ථක කර ගැනීමට ඉතා උස ලිතුවේනියා ආරක්ෂක ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

ශ්‍රී ලංකා ආරක්ෂකයින්ට විවේකයක් ගැනීමට එකදු තත්පරයක් වත් ලබා නොදුන් ලිතුවේනියා ක්‍රීඩකයෝ දිගින් දිගටම ආක්‍රමණ දියත් කළ අතර 30 වන මිනිත්තුවේ දී ලිතුවේනියා ක්‍රීඩකයෙකුගේ ප්‍රහාරයක් ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ අතපසු වීමක් නිසා STONKUS හට ලැබුණු අතර ගෝල රාමුව ඉදිරියේම ලැබුණු එම අවස්ථාව ඔහු ක්ෂණිකව සාර්ථක කර ගත්තේ තරගාවලියේ පළමු ගෝලය වාර්තා කරමිනි.

30 වන මිනිත්තුවේ දී දිගු පන්දු යොමු කිරීම් යොදා ගනිමින් රිස්කාන් වෙත පන්දුව ලබා දීමට ශ්‍රී ලංකා මැදපෙළ ක්‍රීඩකයින් කටයුතු කළ අතර රිස්කාන්ගේ ප්‍රහාරය ලිතුවේනියා ආරක්ෂකයින්ගේ පීඩනය හමුවේ ගෝල රාමුවෙන් ඉවතට ගියේය.

36 වන මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අනගි අවස්ථාවක් හිමි වූ අතර නිදහස් පහරකින් ගුවනේ පාවී ආ පන්දුව වරකාගොඩ විසින් සිය හිසෙන් දැල වෙත යොමු කරත් එම අනගි අවස්ථාව ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 01 ලිතුවේනියාව

ආදේශක ක්‍රීඩකයෙකු ද ඇතුළු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අධිෂ්ඨානයකින් පිටියට පිවිසුණු නමුත් පළමු අර්ධයට වඩා වැඩි වෙනසක් දෙවන අර්ධයේ ද තිබුණේ නැත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ඉතා පහසුවෙන් ලිතුවේනියා ක්‍රීඩකයින් පන්දුව උදුරාගත්  අතර පළමු මිනිත්තු කිහිපය තුල ‘Corner’ අවස්ථා රැසක් ලිතුවේනියාවට හිමි වූයේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයේ හෙළමිනි.

55 වන මිනිත්තුවේ දී ELOSIUSගේ ප්‍රහාරයක් ශ්‍රී ලංකා ගෝල රකින්නා දක්ෂ ලෙස රැකගත් නමුත් 59 වන මිනිත්තුවේ දී ‘Corner’ අවස්ථාවකින් පාවී ආ පන්දුව SIMONAS අලංකාර ලෙස දැල වෙත සිය හිසෙන් යොමු කළේ ලිතුවේනියා ජයග්‍රහණයට අවසන් ඇණය ද ගසමිනි.

අනතුරුව ආරක්ෂක ක්‍රීඩකයින් පස් දෙනෙකු සමඟින් කාලය කා දැමූ ලිතුවේනියා ක්‍රීඩකයෝ තරගය අවසන් වන තුරුම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 02 ලිතුවේනියාව

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

ලිතුවේනියාව – SIMONAS 59’, STONKUS 30’

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<