ආබාධයකට ලක්වූ කොත්තිගොඩ ශ්‍රී ලංකාවට

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

8128

2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ක්‍රීඩකයින් සිව්දෙනා අතරින් Maratha Arabians නියෝජනය කළ කෙවින් කොත්තිගොඩ ඊයේ (4) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා නැවතත් දිවයිනට පැමිණියා.

ඒ Qalandars සමඟ පැවති Super League තරගය අතරතුර ඔහුගේ වම් දණහිස ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසාවෙනි.

ඔහු මෙවර තරගාවලියේ දී සහභාගී වූ පළමු සහ එකම තරගය වූයේ Qalandars කණ්ඩායමට එරෙහිව පසුගිය 2 වැනිදා පැවති තරගයයි. එම තරගයේ පළමු පන්දුවාරයේ අවසන් පන්දුව ක්‍රියාත්මක කිරීමේ දී ඔහුගේ ඉදිරි පාදයේ (වම් පාදය) සපත්තුව පොළව මත එක් වරම හිටීමත් සමඟ පාදය ඇඹරී යාම නිසා දණහිසේ ආබාධය මතුව තිබෙන අතර පසුව ඔහුව ඉක්මනින්ම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

ඔහු එම පන්දුවාරය තුල ලකුණු 5ක් පමණක් ලබා දෙමින් ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු නමුත් Maratha Arabians එම තරගය කඩුලු 4කින් පරාජයට පත්වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ වෙලාවේ මොකක්ද වුනේ කියලා එක පාරටම හිතාගන්න බැරි වුනා. පන්දුව යවනවත් එක්කම මාව බිමට වැටුණා. මට මීට කලින් මෙහෙම ආබාධයක් වෙලා නැහැ. වෛද්‍යවරුන් කියපු විදිහට මට ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය වෙනවා. මම ලංකාවට ඇවිල්ලා දින 14ක් නිරෝධායනය වෙලා ඒ  ශල්‍යකර්මය කරන්න බලාපොරොත්තු වෙනවා.  ශල්‍යකර්මයට පසුව සති 6-8ක කාලයක් ඇතුළත මට නැවතත් මගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා වෛද්‍යවරු කිව්වා” යැයි කෙවින් ThePapare.com වෙත පවසා සිටියා.

වයස අවුරුදු 22ක් වන කොත්තිගොඩ දකුණු අප්‍රිකාවේ පෝල් ඇඩම්ස් පන්දු යවන ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන අතර එම පන්දු යැවීමේ ඉරියව්ව තරමක් වෙනස් පන්දු යැවීමේ ඉරියව්වකි. තවමත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති කොත්තිගොඩ මීට පෙර 2019 වසරේ පැවති අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී Bangla Tigers නියෝජනය කළා.

තවද 2020 LPL ක්‍රිකට් තරගාවලියේ දී Kandy Tuskers නියෝජනය කිරීමට කොත්තිගොඩට හැකියාව ලැබුනත් එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ඔහු 2017 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<