බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට එක්දින තරග තුනක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2021

1026

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සැලසුම් කර තිබෙන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Akram Khan මහතා පවසා සිටින පරිදි මෙම තරගාවලිය මේ වසරේ මැයි මාසයේ දී පැවැත්වෙනවා. 

2020-22 ICC ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවයේ තරග තුනක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ප්‍රසාද ලකුණු 30ක් වෙන්වන අතර එක් තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායම සඳහා ලකුණු 10ක් ලැබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ශ්‍රී ලංකාව අවසන් වරට සුදු පන්දුවෙන් ක්‍රීඩා කරනු ලබන සීමිත පන්දුවාර ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කළේ 2020 වසරේ පෙබරවාරි මාසයේ දී වන අතර ඉන් පසුව මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කිසිඳු ආකාරයක සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වී නැත. 

එසේම ICC ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවයේ කිසිඳු තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැති ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මෙම මස අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන සංචාරයේ දී එක්දින තරග තුනක් සඳහා මුහුණ දීමට නියමිතයි. එම තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකියාව ලැබුනහොත් එය ශ්‍රී ලංකාව 2020-22 ICC ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවය තුළ සහභාගී වන පළමු තරගාවලිය වෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම වසර තුළ ඉතාමත් කාර්ය බහුල ජාත්‍යන්තර තරග කාලසටහනක් තිබෙන අතර මෙම වසර තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 15ක් සහ විස්සයි විස්ස තරග 17ක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා. ඊට අමතරව පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියක් ද මෙම වසරේ දී පැවැත්වෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<