කඳුළු පිසදා රග්බි පිටියේ පියාසර කළ සීතාවක “ගුවන්” – අරුණ ශාන්ත

1901

පළමු වතාවට ජාතික සංචිතයට පිවිසීම ඕනෑම ක්‍රීඩකයෙකුට ඇති සිහිනයක්. විශේෂයෙන්ම කොළඹින් පිටත, රග්බි ක්‍රීඩා නොකරන පාසලක ක්‍රීඩා ශ්‍රී ලංකා වර්ණ දරා මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කිරීම බොහෝ ක්‍රීඩකයින්ට සිහිනයක්ම පමණයි. ජාතික කණ්ඩායමට තේරී පත්වූ දිනය මතක් කළ විට යම් ක්‍රීඩකයෙකුගේ දෙනෙතේ කඳුළු පිරේ නම්, ඔහු වදන් නොමැතිව ගොළු වේ නම් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු කෙතරම් වෙහෙසක් දරන්නට ඇති ද?

ශ්‍රී ලංකා රග්බි පිටියට ඉමහත් සේවයක් කළ සැඟවුණු රග්බි තරු සොයා යන ThePapare.com වෑයමේ තවත් ගමනාන්තයක් වූයේ ගුවන් හමුදාවට පෙම්බැඳි “ගුවන්” එහෙමත් නැති නම් “හෙළිකොප්ටර්” ගාවයි. සිය වේගයෙන් සංජිව ජයසිංහ, සජිත මල්ලිකාරච්චි, ෆාසිල් මරීජා වැනි ප්‍රබලයින් මට්ටු කළ ඔහු සුරංග අරුණ ශාන්ත.

සුපිරි සති අන්තයකට ඔබ සූදානම් ද?

මෙවර ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වටයේ තරග මෙම සති අන්තයේදී (23,24) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙවර ලීගයේ සාර්ථක 15 වැනි සතිය…

වර්තමානයේ ශ්‍රී ලංකා රග්බි පිටියේ විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරන අරුණ ශාන්ත ThePapare.com සමඟින් සිය ජීවිත කතාව බෙදා ගත්තේ ඉතා හැඟීම්බරවයි.

“මම ඉස්සෙල්ලම ඉස්කෝලේ ගියේ අපේ ගමේ බෞද්ධ විද්‍යාලයට (සීතාවක), ඊට පස්සේ තමයි මම සීතාවක රාජසිංහ විද්‍යාලයට යන්නේ, 96 වසරේ දී තමයි මම එම විද්‍යාලයට යන්නේ.”

කොළඹ දිස්ත්‍රික්කයේ ඈතම කොනේ වුනත් අරුණ කුඩා කාලයේ සිටම රග්බි ක්‍රීඩාව ප්‍රිය කළ අයෙක්.

“මම පොඩි කාලේ ඉඳලම රග්බි ක්‍රීඩා කළා, කැලණිවැලි ක්‍රීඩා සමාජය අපේ ගෙදර ගාවයි තිබ්බේ, එකේ රග්බි ක්‍රීඩා කරනවා දැකලා තමයි මම රග්බි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ”

“සබරගමු පළාතේ රග්බි බිහිවෙන්න අපි තමයි පළමු වෙඩිමුරය තිබ්බේ, සීතාවකට ආවට පස්සේ තමයි මම හරියටම රග්බි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ”

“1998 වසරේ සීතාවක රාජසිංහ විද්‍යාලයට රග්බි ක්‍රීඩාංගණයෙන් ලැබුණු පළමු කුසලානය අපි අරන් යනවා, පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය විදියට.”

වීරයන් මුණගැසෙන සුපිරි වටයේ ජය කාටද?

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර මීළඟට සුපිරි වටයේ තරග ආරම්භ වීමට නියමිතයි. මෙම සුපිරි…

අගනුවරින් රග්බි ක්‍රීඩාව පිටිසරට රැගෙන යන්නත් ‘ගුවන්’ පාසල් යන සමයේ සිටම ඉමහත් සේවයක් කර තිබෙනවා.

“දැන් වගේ ඉස්සරත් අපිව ගන්න ලොකු ඉස්කෝල වලින් ආවා, ඒත් ඒ කාලේ තිබ්බ තත්වය එක්ක මට යන්න බැරි වුනා.”

“අපි කේරී විද්‍යාලයට ගහලා තමයි පළමු තැන දිනා ගත්තේ, 1997, 1998, 1999 වසර තුනේ දී ම මම 18න් පහළ 19න් පහළ හා 20න් පහළ නායකයා ලෙස කටයුතු කළා.”

පාසලේ නායකත්වයෙන් නොනැවතුණු ඔහු සබරගමු පළාත් කණ්ඩායම ද ජයග්‍රහණය උදෙසා මෙහෙයවූ අතර පසු කලෙක දී ගුවන් හමුදා කණ්ඩායමේ වගකීම ද ඔහුට භාර වුනා.

ඉස්කෝලෙන් පස්සේ මොකද වුනේ?

“2000න් පස්සේ මගේ වේගය නිසා මම ශ්‍රී ලංකා පාසල් රග්බි කණ්ඩායමට තේරී පත් වෙනවා.”

පාසල් රග්බි පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයින් සෑම වසරකම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායමට තෝරා ගන්නවා. කෙසේ වෙතත් අරුණට අවාසනාවන්ත ලෙස 19න් පහළ සංචාරයේ දොරටු වැසෙන්නේ “කොළඹට කිරි ගමට කැකිරි” සංකල්පය නිසයි.

“මම ගමේ ඉඳලා කොළඹට ප්‍රැක්ටිස් එනවා, පළමු දවස්වල 19න් පහළ කණ්ඩායමේ ප්‍රැක්ටිස් ඉන්නේ අපි දහපහළොස් දෙනෙක් විතරයි.”

“අන්තිමට ලොකු ඉස්කෝල සෙට් එක එනවා, ඊට පස්සේ ගමෙන් ආපු කට්ටිය ඉවරයි”

අරුණ ශ්‍රී ලංකා රග්බි පිටියේ අමිහිරි පැතිකඩක් පිළිබඳ මතකයක් අවදි කළා.

කොහොමද ගුවන් හමුදා කණ්ඩායමට එකතු වුනේ?

“මම 2001 වසරේ ඉඳන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා, ඉස්කෝලෙන් ඉවත් වුණු ගමන් මම බගවන්තලාව ප්ලාන්ටේෂන් ක්‍රීඩා සමාජයට සත් සාමාජික තරග ක්‍රීඩා කළා, එකේ දී මම ට්‍රයි 21ක් තියනවා. වැඩිම උත්සාහක දිනුම් තිබ්බ ක්‍රීඩකයා මම, ඒ අවුරුද්දේ අපි පලඟ ශූරයෝ වෙනවා.”

අරුණ පුංචිම තැනින් ආරම්භ කළ මේ ගමන එවකට ගුවන් හමුදා ක්‍රීඩක රුවන් චන්ද්‍රසේකරගේ වදනකින් සම්පූර්ණයෙන් වෙනස් වුනා.

“එයාර් ෆෝස් එකේ ප්ලේයර්ස් ලා ගන්නවා, පුළුවන් ද යන්න?”

“ඒ අනුව 2001 ජනවාරි මුල වගේ මම ගුවන් හමුදා කණ්ඩායමට එකතු වෙනවා, ඒ දවස්වල මම හොඳටම ස්පීඩ්, තත්පර 11ට වගේ මීටර 100ක් දුවන්න පුළුවන්” අරුණ සිය හැකියාවන් පිළිබඳ මතකය අලුත් කළේ නිහතමානී අභිමානයකින්.

විදේශීය විනිසුරුවරයෙකු නැවත දිවයිනට

මෙවර ඩයලොග් රග්බි ලීගයේ අවසන් තරග කිහිපය සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත. ඒ අනුව සිංගප්පූරු ජාතික…

පළමු තරගය?

“විජිත ගුණරත්න සර් තමයි ඒ වෙනකොට කෝච් හිටියේ, මට ඉස්සෙල්ලම හම්බුණු තරගය CH–B කණ්ඩායම එක්ක තරගය, එකේ මම ට්‍රයි තුනක් තියනවා.”

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සිය මංගල තරගයට ක්‍රීඩා කළ අරුණට හිමි වන මීළඟ අභියෝගය නාලක වීරක්කොඩි, සජිත් මල්ලිකාරච්චි ගෙන් බලගැන්වුණු ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයයි.

“මට කැලණිවැලි ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරද්දීත් ඔවුන්ව හමුවෙලා තියෙනවා, ඒ තරගයේ මට ප්‍රතිවාදී Wing ක්‍රීඩකයා විදියට හිටියේ බණ්ඩාරනායක අයියා (ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක), මට එක ට්‍රයි එකක්වත් යන්න දුන්නේ නැහැ.”

‘ගුවන්’ හිනා වෙමින් පැවසුවේ අද මෙන්ම එදත් මහනුවර ක්‍රීඩා සමාජය අනෙක් ක්‍රීඩා සමාජවලට අභියෝගයක් වූ හැටි මතක් වී.

“ඊට පසුව 2001 සීසන් එකම මම ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට සෙල්ලම් කළා.”

“2002 වසරේ ගාල්ලේ දී අමතක නොවන සිදුවීමක් වුනා, 2002 වසරේ සත් සාමාජික රග්බි තරගාවලිය තිබුණේ ගාල්ලේ, අපි කටුනායක හිටියේ, අපි පාන්දර තුනට විතර ඇහැරිලා ගාල්ලට ගියත් අපි පිට්ටනියට යනකොට වෙලා ගිහින්, CH කණ්ඩායමට අපිව පරද්දලා ප්‍රසාද ලකුණ ගන්න ඕන හින්දා මැච් එක පටන් අරන් නෑ, අපි එනකම් ඉඳලා.”

“අපි ඇඳුම් එහෙම මාරු කරගෙනමයි පිට්ටනියට බැස්සේ, එයාල බලන් හිටියේ අපිට හැටක් විතර ගහලා ප්‍රසාද ලකුණ ගන්න, කොහොම හරි අපි අන්තිම මිනිත්තුවේ බැහැලා CH පරද්දලා මැච් එක දිනුවා ලකුණු 15-10ක් විදියට.”

ජාතික සංචිතය සිහිනයක් ද?

“මට ගොඩක් ආසාවක් තිබ්බා” බිඳ වැටුණු කටහඬින් අරුණ නැවතත් කතාව ආරම්භ කළා. ”සංජිව ජයසිංහ, නාලක වීරක්කොඩි, එයාලත් එක්ක සෙල්ලම් කරලා තිබුණු හින්දා ලොකු ආසාවක් තිබ්බා නැෂනල් ප්ලේ කරන්න.”

“2002 ලීග් එකේ දී ජයසිංහ අයියාට එක ට්‍රයි එකක්වත් යන්න මම ඉඩ තිබ්බේ නැහැ, මම කොහොමහරි පන්නගෙන ගිහින් අල්ල ගන්නවා. 2002 සෝෂල් එකක දී ජයසිංහ අයියා මට පැත්තකට කතා කළා, මොකද්ද නම, කොහෙද ඉස්කෝලේ, ඇහුවා, මට මතකයි උඹ මට පන්නලා ගහලා තියනවා, හොඳට ගහනවා, කවදාහරි නැෂනල් ප්ලේ කරන්න කියලා මට කිව්වා”

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රබලතම ක්‍රීඩා තරුවකගෙන් එවන් ඇගයීමක් ලබා ගැනීම ගමෙන් ආ ළාබාල අරුණ ශාන්තට විශාල සවියක් වුනා.

2006 වසරේ දී සිහිනය සැබෑ වුනා.

“2006 වසරේ දී මම එතරම් හොඳට සෙල්ලම් කළේ නැහැ, ෆිෆ්ටීන් සයිඩ් ගේම්ස් වලදී මම බෝල අතාරිනවා, එහෙම වැරදි කිහිපයක් වුනා, වින්ග් කමාන්ඩර් සංජය ප්‍රනාන්දු කණ්ඩායමේ මැනේජර්, එයා මට පිට්ටනිය පැත්තට වත් එන්න දුන්නේ නැහැ”

කණ්ඩායමක ක්‍රීඩකයින් සියලු දෙනා එක පවුලක් වැනියි. එය කණ්ඩායමේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය ගුණාංගයක්. ’ගුවන්’ ගේ නරක කාලයට වැට බඳින්නට ගුවන්ගේ යාළුවන් එකමුතු වුනා.

“මගේ කණ්ඩායමේ රොහාන් ප්‍රනාන්දු, සෞම්‍ය සිල්වා, ප්‍රදීප් කුරුකුලසූරිය ගිහින් නෑ සර් සුරංගට චාන්ස් එකක් දෙමු කියලා මාව සෙවන්ස් එකට ගෙන්න ගත්තා, මම සෙවන්ස් ප්‍රැක්ටිස් වල හොඳට සෙල්ලම් කළා. ජයසිංහ අයියා මට බූට් දෙකක් පවා අරන් දීලා තියනවා.”

ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ජෝර්ජ් සිම්කින්ගේ උකුසු ඇසට අරුණගේ වේගය හසුවුණා.

“ඒ අවුරුද්දේ අපි සෙමීස් වෙනකම් ආවා, මම ට්‍රයිස් 18ක් වගේ තිබ්බා, මම හොඳටම සෙල්ලම් කළා, ජයසිංහ අයියාට වඩා මට ට්‍රයි තිබ්බා, ඒ වුනාට මට හොඳම ක්‍රීඩකයා සම්මානය හම්බුණේ නැහැ. ජෝ සිම්කින්ගේ හිතේ තිබිලා තියෙනවා මාව කණ්ඩායමට ගන්න, හැබැයි මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.”

අරුණ ඔහුගේ සුරංගනා කතාව පියවරෙන් පියවර විස්තර කළා.

“පස්සේ ක්වාටර් ෆයිනල් යනකොට දෙදෙනෙක් ජාතික කණ්ඩායමේ ඉන්නවා කියලා පණිවිඩයක් ආවා, හැබැයි කවුද කියලා ඔවුන් දැනගෙන හිටියෙත් නැහැ, අන්තිමට මාවයි තාරක චන්දිමාල්වයි ජාතික සංචිතයට සුදුසුකම් ලැබුවා, අපි ඒත් වැඩිය බලාපොරොත්තු තියාගත්තේ නැහැ, කැන්ඩි ගහන සීනියර් ක්‍රීඩකයින් ගොඩක් හිටියා, අපි පොඩිම කට්ටිය එතැන’”

“සංජීව ජයසිංහ අයියායි සජිත් මල්ලිකාරච්චි අයියයි අපිට ගොඩක් උදව් කළා, පහළින් එන අයට ලොකු සපෝර්ට් එකක් දුන්නා. ෆාසිල් මරීජා කණ්ඩායමට ආපු අලුත මේ, සාලිය කුමාර, එරන්ද වීරක්කොඩි වගේ නවකයින් ගොඩක් හිටියා අපිත් එක්ක.”

“අපි ඔක්කොම එකට ප්‍රැක්ටිස් කළා, හැබැයි මම වැඩිය බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ, මම හිතුවේ අනික් අයට ප්‍රැක්ටිස් කරන්න අපිව තියාගෙන ඉන්නවා කියලා”

‘ගුවන්’ කියන නම පටබැඳුණේ කොහොමද?

“ජාතික සංචිතයේ පුහුණුවීම් වල ඉන්නකොට තමයි මම දුවන ස්ටයිල් එකයි මගේ ෆිට්නස් ලෙවල් එකයි හින්දා සාලිය කුමාර සහ එරන්ද වීරක්කොඩි එකතු වෙලා මට නමක් දානවා ගුවන් කියලා. ජෝ සිම්කින් මට කතා කරන්නේ හෙලිකොප්ටර් කියලා” හා අරුණ සිනාමුසු වුනේ සුන්දර අත්දැකීම් මතක් කරමින්.

අරුණගේ හිතේ විශාලතම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කළේ දක්ෂයාට නිසි තැන දී ම ප්‍රධානම අරමුණ කර ගත් ජෝ සිම්කින්.

“ලියනගේ ඉන්ජරි එකක් නිසා එයා ආවේ නැහැ පූල් එකට, ලියනගේ වෙනුවට මාව අරන් යන සැලැස්මක් තමයි තිබිලා තියෙන්නේ, හැබැයි මම ඒක දන්නේ නැහැ, මම හිතුවා මේ ටීම් එකට මට යන්න වෙන්නේ නැති වෙයි කියලා.”

පත්තරේ විස්තරේ

“ඔන්න මුළු ටීම් එකම දාල තියනවා පත්තරේ, හැබැයි එක තැනක් හිස්, 11 දෙනෙක්ගේ නම් දාලා තියනවා 12 වෙනියාගේ නම නැහැ”

වින්ග් කමාන්ඩර් සංජය ප්‍රනාන්දු මහ රෑ අරුණට දුන් දුරකථන ඇමතුම ඔහුට කිසිදා අමතක නොවන එකකි.  

“රොහාන් ප්‍රනාන්දුයි, සෞම්‍ය සිල්වායි එදා මට තැන අරන් දුන්නේ නැත්නම්, අද මම මෙතන නැහැ,”

“සුරංග ඔයාට චාන්ස් එකක් එයි වගේ, ගිහිල්ලා බාරයක් එහෙම වෙලා එන්න.”

“මම හිතුවේ නැහැ ඒක ඇත්ත වෙයි කියලා, පහුවදා පුහුණුවීම් වලට ගියාම සංජිව අයියා ඇවිත් මගේ පිටට තට්ටුවක් දාල කිව්වා, ගුවන් දැන් එහෙනම් පොල්මලක් එහෙම ලෑස්ති කර ගන්න කියලා, මම ඇහුවා ඇයි අයියා ඒ කියලා, ඔයා කොමන්වෙල්ත් ගේම්ස්වලට සිලෙක්ට් වෙලා කියලා එතකොට සංජිව අයියා කිව්වා.”

පළමු ගුවන් ගමන?

“පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පුදුම අත්දැකීමක්, තායිලන්තයට පැය තුනකට වඩා ගිහින් එතැන ඉඳලත් තව පැය 12ක් යන්න තියෙනවා කියලා මම දන්නේ නැහැ, ඒ මගේ පළවෙනි ගුවන් ගමන.”

“සංජිව අයියා මට එහා පැත්තෙ, සජිත් අයියා මට මෙහා පැත්තේ, එයාලා මට ඔක්කොම කියලා දුන්නා, කන බොන විදිය, ඉන්න විදිය ඔක්කොම. ගෑරුප්පුව අල්ලන විදිය පවා කියලා දුන්නා.”

අරුණ නිරහංකාර ලෙස කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තමාට උදව් කළ ආකාරය මතක් කළේ ඉතා ගෞරවයෙන්.

“ඒක හරි පුදුම අත්දැකීමක්, යන්නම ඕන ඒක විඳින්න, හොඳම අත්දැකීම තමයි මෙල්බර්න් ක්‍රීඩාංගණයට ගිය දවස, මැච් එකට කලින් දවසේ අපිට ප්‍රැක්ටිස් කරන්න මෙල්බර්න් ක්‍රීඩාංගණයට යන්න අවස්ථාව ලැබෙනවා. කණ්ඩායමේ කවුරුත් දැකලා තිබුණේ නැහැ වහපු ක්‍රීඩාංගණය (වහල වැසෙන), හැමෝටම මාර අත්දැකීමක්.”

“අපිට පළවෙනි මැච් එක ඕස්ට්‍රේලියාවත් එක්ක”, ‘ගුවන්’ සිය පළමු ජාත්‍යන්තර තරගාවලියේ මතකයන් වචන බවට පෙරළුවා.

“අපිට විනාඩි 14ක් ඇතුළත ලකුණු 84ක් ගහනවා, අපිට හිතා ගන්න වත් වේලාවක් නැහැ, ඒ තරගයේ අවසන් විනාඩි පහ සෙල්ලම් කරන්න මට ලැබෙනවා.”

“ජයසිංහ අයියාටත් බැහැ එයාලව නවත්තන්න, උරුගුවේ තරගය යන්තම් සෙල්ලම් කර ගන්නවා, ලකුණු 10ක පරතරයක් තියලා පරදි.න්නේ”

අනෙක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගැන මොනවද කියන්න තියෙන්නේ?

“නාලක අයියා, සජිත් අයියා, ෆාසිල් මරීජා, සජිත් අයියා, ඩිලංක, චාමර, භක්ෂි ඔය ඔක්කොමලා එකම පවුලක් වගේ.”

“මගේ හොඳම කාලේ මට මහනුවර ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරන්න කතා කළා, CR, CH දෙකම කතා කළා, මම ගියේ නැත්තේ මාව ගෙනාවේ එයාර් ෆෝර්ස් හින්දා, මම එතැනම හිටියා”

“මැච් එකට කලින් දවසේ අපි ඔක්කොම එකතු වෙනවා, ජූඩ් පිල්ලේ තමයි අපේ මැනේජර්, එයා කියනවා පැරදුනාට කමක් නෑ, අපි ඔක්කොම එකට ඉන්න ඕන කියලා”

2006 හොංකොං සංචාරය?

“2006 හොංකොං සංචාරයේ අපි ලොකු දෙයක් කරනවා, අපිට හම්බෙන්නේ, ප්‍රංශය, එංගලන්තය වගේ රටවල්.”

“අපිට අර්ධ අවසන් පූර්ව වටයේ හම්බෙන්නේ USA, අපි ලකුණු 10-10ක් විදියට තිබ්බ මැච් එක 10-17ක් විදියට දිනනවා, අපි USA පරාජය කරනවා.”

වත්මන් සත් සාමාජික පිටියේ සුපිරිම කණ්ඩායමක් වන එක්සත් ජනපදය පරාජය කිරීම ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ සුවිශේෂිතම සංධිස්ථානයක්.

අමතක නොවනම සිදුවීම

“2006 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තමයි අමතක නොවනම අත්දැකීම.”

“මගේ දෙමාපියන්ට, මගේ මාමාට, බී. ටී. ගුණරත්න මගේ පුහුණුකරුට මම ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා” අරුණ රග්බි දිවියේ තමන්ට හයියක් වූ පුද්ගලයින් මතක් කළේ ඉතා ගෞරවයෙන්.

“මාව එයාර් ෆෝර්ස් දාපු රුවන් චන්ද්‍රසේකර අයියාට, එයාර් ෆෝර්ස් එකේ දී මාව බලාගත්ත කමාන්ඩර් සංජය ප්‍රනාන්දු හට මම ස්තූති වෙනවා.”

ලාංකීය රග්බි පිටියේ අමරණීය සලකුණක් තබන්නට සුරංග අරුණ ශාන්ත හෙවත් ගුවන් සමත් වුනා. වත්මන් රග්බි පිටියේ ක්‍රීඩකයින්ට හා පාසල් මට්ටමේ ක්‍රීඩකයින්ට ඔහුගෙන් කතාවෙන් ලබා ගත හැකි ආදර්ශ බොහෝයි.

සුප්‍රකට රග්බි තරුවල සැඟවුණු කතා සොයා යන ThePapare.com මීළඟ ඔබ හමුවට ගෙන එන්නේ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නිහඬ දඩයකාරයෙක් පිළිබඳවයි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<