Home Sinhala අයේශාගේ හයේ පහර දෙක නිසා ජය පාකිස්තානයට!

අයේශාගේ හයේ පහර දෙක නිසා ජය පාකිස්තානයට!

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022

4450

කාන්තා ආසියානු කුසලානයේ මූලික වටයේ අවසන් තරගය අද (11) නිමාවට පත්වූයේ පාකිස්තානයට කඩුලු 5ක ජයක් හිමි කර දෙමිනුයි. එහි දී හොඳ ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකාවට පරාජය භාරගැනීමට සිදුවූයේ මැදපෙළ පිතිකාරිණියන්ගේ දුර්වල ක්‍රීඩා රටාව නිසයි. කෙසේවෙතත් පන්දු යවන්නියන්ගේ දක්ෂතා නිසා මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා.

වර්ෂාව නිසා අද තරගය ආරම්භ වූයේ අඩ හෝරාවක පමණ ප්‍රමාදයකින් පසුවයි. උදෑසන මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට තිබූ තීරණාත්මක බංග්ලාදේශ – එක්සත් අරාබි එමීර් තරගය වර්ෂාව නිසා අත්හැර දැමූ අතර බංග්ලාදේශයට එම තරගයේ ප්‍රසාද ලකුණු 2 නොලැබී යාම නිසා ඉතිහාසයේ මුල් වරට අවසන් පූර්ව වටයේ ඉඩකඩ වෙන් කරගැනීමට තායිලන්තය අද වාසනාවන්ත වුනා. ඒ අනුව සත්කාරක බංග්ලාදේශ කාන්තා පිළට ආසියානු කුසලානයෙන් ඉවත්වීමට අද සිදුවුනා.

කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා පිළ මුලින් පිතිකරණයේ යෙදුනු අතර power play පන්දුවාර වල දී ඔවුන් සුපිරි ආරම්භයක් ලබා ගත්තා. තරගාවලියේ මුල් වරට අද චමරිගේ සුපුරුදු අලංකාර පහරවල් දැක ගන්නට ලැබුනු අතර පන්දු 26ක දී ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්. ඊට හතරේ පහර 9ක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 7ක් අවසානයේ 58-1ක් ලෙස දිස් වූ අතර ඉනිම බිඳ වැටීම ඇරඹුනේ එතැන් සිටයි. චමරි long on කලාපය ඔස්සේ හයේ පහරකට උත්සාහ කිරීමේ දී පහසු උඩපන්දුවක් ලබා දී දැවී යාමත් සමඟ මැදපෙළ පිතිකාරිණියන් ද තම නායිකාව අනුකරණය කිරීමට පටන් ගත්තා.

නිලක්ෂි ද සිල්වා ලකුණු නොලබා දැවී ගිය අතර ලකුණු 18ක් රැස් කරගෙන සිටි හසිනි පෙරේරා ෆුල්ටොස් පන්දුවකට පන්දු යවන්නිය අතටම පහසු උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා. අනුෂ්කා සංජීවනී දවා ගැනීමට එක් පන්දුවක් පමණක් සෑහෙද්දී, මල්ෂා ශෙහානි අනවශ්‍ය ප්‍රහාරයකට උත්සාහ කිරීමේ දී කඩුල්ල බිඳ ගත්තා. අභිමානවත්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 78ට කඩුලු 8ක් ලෙස දිස් වන්නේ මේ අනුවයි.

කෙසේ හෝ ඉනිමේ අවසන් කොටසේ දී ඕෂධී රණසිංහගේ උත්සාහය නිසාම ශ්‍රී ලංකාවට ලකුණු 112ක් දක්වා යාමට හැකි වුනා. ඒ ඉනිම නිමා වීමට තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දීයි. පන්දු යැවීමේ දී පාකිස්තානයට නැවතත් තරගයට අවතීර්ණ වීමට වැඩිම පිටුබලයක් සැපයූ ඔමයිමා සොහේල් ලකුණු 13කට කඩුලු 5ක් බිඳ හෙලුවා.

මෙම අඩු ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී පාකිස්තාන ආරම්භක පිතිකාරිණියන් මුල සිට ප්‍රහාරයට යොමු වීමට උත්සාහ කළත් ලකුණු 30 වන විට ඔවුන් දෙදෙනා දැවී යාමත් සමඟ පාකිස්තානු පිළ තරමක් පසු බැස්සා. ඒ කෙසේ හෝ පන්දුවාර 20 ක්‍රීඩා කරමින් ඉලක්කයට යාමේ අදිටනින්.

නමුත් පාකිස්තානු ක්‍රීඩිකාවන්ට ද මෙම ඉපිළීමක් රහිත මන්දගාමී තණතිල්ලේ ලකුණු ලබා ගැනීම පහසු නොවූ අතර විටින් විට කඩුලු දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. එහි දී ආලියා රියාස් ලකුණු 20ක් රැස් කළේ පන්දු 26කට මුහුණ දෙමින්. තත්ත්වය මැනවින් වටහාගෙන එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි අත්දැකීම් බහුල ක්‍රීඩිකා නීතා දාර් නොදැවී ලකුණු 26ක් වාර්තා කරගත්තා.

අවසන් පන්දුවාර 2ට ලකුණු 16ක් අවශ්‍ය වී තිබිය දී ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමේ ඉඩක් නිර්මාණය වුව ද අංක 7 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි අයේශා නසීම් එම බලාපොරොත්තු සිහිනයක් කළා. ඒ 19 වැනි පන්දුවාරයේ සිව්වැනි සහ පස්වැනි පන්දු 2ටම පිට පිටම හයේ පහර 2ක් එල්ල කරමින්. ප්‍රහාරයට කවදත් ප්‍රසිද්ධ ඇය පන්දු 5කින් නොදැවී ලකුණු 16ක් රැස් කරගත්තේ කඩුලු 5ක ජයක් පාකිස්තානයට ලබා දෙමින්. පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි කඩුලු 2ක් දවා ගත්තා.

Result


Pakistan Women
113/5 (18.5)

Sri Lanka Women
112/10 (18.5)

Batsmen R B 4s 6s SR
Chamari Athapaththu c Nida Dar b Tuba Hassan 41 26 9 0 157.69
Harshitha Samarawickrama c Omaima Sohail b Nida Dar 1 6 0 0 16.67
Hasini Perera c & b Omaima Sohail 18 18 2 0 100.00
Nilakshi de Silva c Aiman Anwer b Omaima Sohail 0 2 0 0 0.00
Kavisha Dilhari lbw b Omaima Sohail 11 13 1 0 84.62
Anushka Sanjeewani lbw b Omaima Sohail 0 1 0 0 0.00
Malsha Shehani b Omaima Sohail 1 6 0 0 16.67
Oshadi Ranasinghe lbw b Tuba Hassan 26 29 3 0 89.66
Sugandika Kumari run out (Bismah Maroof) 0 0 0 0 0.00
Inoka Ranaweera run out (Sadia Iqbal) 3 9 0 0 33.33
Achini Kulasuriya not out 1 4 0 0 25.00


Extras 10 (b 4 , lb 0 , nb 1, w 5, pen 0)
Total 112/10 (18.5 Overs, RR: 5.95)
Bowling O M R W Econ
Sadia Iqbal 4 0 16 0 4.00
Aiman Anwer 3 0 28 0 9.33
Nida Dar 4 0 25 1 6.25
Tuba Hassan 3.5 0 26 2 7.43
Omaima Sohail 4 0 13 5 3.25


Batsmen R B 4s 6s SR
Muneeba Ali c Sugandika Kumari b Achini Kulasuriya 10 16 1 0 62.50
Sidra Ameen c Chamari Athapaththu b Oshadi Ranasinghe 13 13 2 0 100.00
Bismah Maroof c Harshitha Madavi b Inoka Ranaweera 13 15 1 0 86.67
Omaima Sohail lbw b Kavisha Dilhari 7 9 1 0 77.78
Nida Dar not out 26 28 1 0 92.86
Aliya Riaz c & b Kavisha Dilhari 20 26 3 0 76.92
Ayesha Nasem not out 16 5 0 2 320.00


Extras 8 (b 1 , lb 4 , nb 0, w 3, pen 0)
Total 113/5 (18.5 Overs, RR: 6)
Bowling O M R W Econ
Sugandika Kumari 3 0 19 0 6.33
Oshadi Ranasinghe 3 0 16 1 5.33
Achini Kulasuriya 3.5 0 32 1 9.14
Inoka Ranaweera 4 0 12 1 3.00
Kavisha Dilhari 3 0 16 2 5.33
Malsha Shehani 1 0 6 0 6.00
Chamari Athapaththu 1 0 12 0 12.00



තරගයේ වීරවරිය ලෙස සම්මාන හිමි වූයේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ ඔමයිමා සොහේල්ටයි. මේ අනුව කාන්තා ආසියානු කුසලානයේ මූලික වටයේ සියලු තරග අදින් නිමා වූ අතර අනිද්දා (13) අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙස ඉන්දියාව සහ තායිලන්තය උදෑසන කාලයේදීත්, දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය දිවා කාලයේදීත් සිල්හෙට් පිටියේ දීම තරග වැදීමට නියමිතයි.

එම සියලු තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<