ත්‍රිවිධ හමුදා කරාටේ පිටිය රනින් හෙල්ලූ රේණුකා

1237
Renuka Somasinghe

ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාටේ කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩිකාවක් ලෙස රේණුකා නිශාන්ති සෝමසිංහ හැඳින්විය හැකි. දශකයකට වැඩි කාලයක් මෙරට කරාටේ පිටියේ කාතා ඉසව්වේ වඩාත් තරගකාරී ක්‍රීඩිකාව ඇයයි.

මම කරාටේ ක්‍රීඩාවට පිවිසෙන්නේ ඉතාම කුඩා කාලයේ සිටමයි. මට මේ දක්වා ලැබුණ හැම දෙයක් ම ලැබුණේ කරාටේ ක්‍රීඩාව නිසා. රැකියාව, මට මගේ ස්වාමි පුරුෂයා පවා ලැබෙන්නේ කරාටේ ක්‍රීඩාව නිසා. ඒක මගේ ජීවිතයට බද්ධ වෙලා තියෙන්නේ. මගේ දරුවන් පවා අද කරාටේ ක්‍රීඩාවේ නියැලෙනවා. විවිධ හැල හැප්පීම් තියෙනවා, නමුත් අපිට කරාටේ ක්‍රීඩාවෙන් තොර ජීවිතයක් නැහැ”, රේණුකා සෝමසිංහ ThePapare.com සමඟ කතා බහට එක් වෙමින් පැවසුවා.

Black Belt හිමිකාරියක් වෙන රේණුකාගේ කරාටේ තරගවල ගොඩක් දක්ෂතා තියෙන්නේ දේශීය තරග පිටියේ. ඇය 1999 සිට 2016 දක්වා පැවති ජාතික ක්‍රීඩා උළෙලේ කරාටේ තරගවල පළමු ස්ථාන ත්‍රිත්වයේ සිටියා. වැඩිහරියක් ම දිනා ඇත්තේ රන් පදක්කම්.

එමෙන් ම 2004 වසරේ සිටි 2016 වසර දක්වා ජාතික කරාටේ තරගාවලිය නියෝජනය කරන ඇය එම වසරවල දී ද පෙර සේ ම දක්ෂතා දක්වනවා.

ඔය අතර ඇය 2002 සහ 2003 වසර ද්විත්වයේ ත්‍රිවිධ හමුදා කරාටේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, 2012 වසරේ National Grand Champion ලෙසත් සහ 2014 වසරේ දී ජාතික ක්‍රීඩා උළෙලේ දක්ෂතම කරාටේ ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගන්නවා.

එමෙන් ම ඇය 2002 වසරේ සිට 2017 වසර දක්වා ම ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාටේ කණ්ඩායම නියෝජනය කරමින් එහි වැඩිම රන් පදක්කම් දිනා ගත් කරාටේ ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක් වෙනවා.

රේණුකා ලැබූ ඉහළ ම පදක්කම වන්නේ 2014 වසරේ දී ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු කරාටේ තරගාවලියේ ලත් රන් පදක්කමයි.

ඒ ගැන අදටත් තියෙන්නේ මිහිරි මතකයක්. ඊට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලි කිහිපයකට සහභාගී වුනත් නොයෙකුත් හේතූන් ඉදිරිපත් කරමින් මාව ඒ තරගවලට ඉදිරිපත් කළේ නැහැ. මේ නිසා ලොකු බලාපොරොත්තුවකින් හිටියා ලැබෙන තරගාවලිය හොඳින් කරන්න. අවසානයේ මම මගේ දක්ෂතාව රන් පදක්කමක් දිනා ගනිමින් ම පෙන්නුවා.”

රේණුකාගේ ගම කුරුණෑගල. මුලින් ම පාසල් යන්නේ මාඑළිය විද්‍යාලයට. ඊට පස්සේ උසස් පෙළ කිරීම සඳහා පොල්පිතිගම මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. ගොවිතැනින් ජීවිතය සරි කෙරුණ රේණුකාගේ පවුලේ රේණුකා සමඟ වැඩිමල් සහෝදරියක්, සහෝදරයෙක් සහ බාල සහෝදරයෙක් සිටියා.

මේ කිසිවෙකුත් ක්‍රීඩාවට සම්බන්ධ වුනේ නැහැ. නමුත් රේණුකාට ලොකු ආසාවක් තිබුණා, කරාටේ ක්‍රීඩාවට එකතු වෙන්න. ඒ මාඑළිය විද්‍යාලයේ කරාටේ ක්‍රීඩාව පටන් ගත්ත මුල් ම අවධිය. ඒ වෙද්දී රේණුකාට අවුරුදු 12ක් විතර ඇති ලු.

කරාටේ ක්‍රීඩාව පටන් ගන්නවා කියල අපේ පංතියටත් දැන්වීමක් ආවා. මට ඒකට සහභාගී වෙන්න දැඩි අවශ්‍යතාවක් දැනුණා. අපේ පංතියේ කිසිම කෙනෙක් සහභාගී වුනේ නැහැ. මට තනියම සහභාගී වෙන්නත් බැහැ. පස්සෙ මම මගේ යාළුවෝ කිහිප දෙනෙක් ලෑස්ති කරගෙන කරාටේ උගන්නන සර් ළඟට ගියා. මගේ යාළුවෝ සතියයි, දෙකයි. නතර වුනා. මම දිගට ම කරගෙන ගියා.”

එහෙම පුහුණුවීම් ආරම්භ කළත් රේණුකාට ක්‍රීඩාව දිගට ම කරගෙන යන්න තරම් අවශ්‍ය පහසුකම් හරි හැටි තිබිල නෑ. කොටින්ම කරාටේ ඇඳුම ගන්න පවා අමතර මුදලක් වියදම් කරන්න ඔවුන්ට පුළුවන් කමක් තිබිල නෑ. මේ නිසා රේණුකා අම්ම-තාත්තා ඉදිරියේ දවස් ගාණක් පිංසෙන්ඩු වෙලා කඳුළු හැලුව ලු.

ඒ දේවල් ලැබෙන්න පරක්කු වුනත් මම කරාටේ ක්‍රීඩාව පුහුණු වෙන්න නොකඩවා ගියා. අපේ ගෙදර ඉඳලා පාසලට යන්න ගොඩක් දුර යන්න ඕන. ඒක හරි වෙහසකර ගමනක්. කොහොම හරි සාමාන්‍ය පෙළ දක්වා මාඑළියෙ ඉගෙන ගත්තා. පොල්පිතිගමට යන්නෙ කරාටේ ක්‍රීඩාව කරන්න ඕන නිසයි. වැඩි දුර අධ්‍යාපනය හදාරන්න කියන හැඟීම තිබුණේ නැහැ.”

නමුත් ඒ වෙද්දී රේණුකාගේ ගමනට විවිධ බාධා එල්ල වුනා. ඉන් එක ආර්ථික අපහසුතා. ඒ වගේ ම වැඩිහිටි ගෑණු ළමයෙක්ට කරාටේ වගේ ක්‍රීඩාවක් සුදුසු නැහැ කියන කතාව තමයි ඉදිරියට පැමිණියේ.

පාසල් කාලයේ දී රණසිංහ, ශාන්ත, ජානක, ජයසිංහ කියන ගුරුවරුන් යටතේ කරාටේ ක්‍රීඩාව ඉගෙන ගත්තා. ඔවුන් තමයි ගෙදර විරෝධය මඟ හැරියේ. ඔය අතර මම ජාතික පාසල් තෙවැනි ස්ථානයට පත් වුනා. ගෙදර තත්ත්වයත් ඉබේ ම හොඳ අතට පෙරළුණා. ඊට පස්සේ මම 1999 අවුරුද්දේ ජාතික ක්‍රීඩා උළෙලේ කරාටේ රන් පදක්කම දිනා ගන්නවා. ඒ දක්ෂතාව හේතුවෙන් ශ්‍රී ලංකා කරාටේ සංචිතයට ද එකතු වෙන්න අවස්ථාවක් ලැබෙනවා.”

එය රේණුකාගේ කරාටේ මෙන් ම ජීවිතයේ ද ප්‍රබලත ම හැරුවුම් ලක්ෂය වෙනවා. රේණුකාගේ ස්වාමියා, අකිල බස්නායක. ඔහුත් කරාටේ මෙන් ම විවිධ ක්‍රීඩා ඉසව්වල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. පාසල් කාලයේ දී ඔවුන් ළබැඳි මිතුරන්.

එයා ඒ දවස්වල ගුවන් හමුදාවේ ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා. එයා තමයි මට කිව්වේ, ගුවන් හමුදාවෙ රස්සාව කරන ගමන් ම කරාටේ ක්‍රීඩාව කරන්නත් අවස්ථාවක් සලසා දෙන්න පුළුවන් කියලා. මම ඒකට කැමති වුනා. ඒ දවස්වලත් අපි හොඳ යාළුවන් පමණයි.”

කරාටේ ක්‍රීඩාවේ නියුතු වීමේ දැඩි කැමැත්ත නිසා රේණුකා පාසලෙන් ඉවත් වී ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක් වෙනවා. රේණුකාගෙන් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාටේ සංචිතයක් ආරම්භ වෙන්නේ.

ගිහිල්ලා දවස් තුනකින් ත්‍රිවිධ හමුදා කරාටේ තරගාවලිය තියෙනවා සූදානම් වෙන්න කියලා පණිවුඩයක් ලැබෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඒ වෙද්දී එච්චර පුහුණුවකුත් නැහැ. නමුත් හිතේ තිබුණ ධෛර්යයෙන් තරගාවලියට සහභාගී වුනා. එතැන දී මට කාතා සහ කුමිතේ ඉසව් ජයග්‍රහණය කරන්න හැකි වෙනවා. ඒක තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කරාටේ ඉතිහාසයේ ලැබූ පළමු පදක්කම් ද්විත්වය.”

එතැන් සිට රේණුකා, කරාටේ පිටියේ පෙරළිකාර ක්‍රීඩිකාවක් වුනා. කරාටේ ක්‍රීඩාව කරගෙන යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එන්න පාර පෙන්වූ ළබැඳි මිතුරා, අකිල බස්නායක ඇයගේ ජීවන ගමන් මඟේ හවුල්කරුවා ද වෙනවා.

පවුලක් ලෙසින් ගොඩ නැගීමට අමතර ව මගේ කරාටේ ජීවිතයේ බොහෝ තැන්වල හිටියේ එයා”, රේණුකා ගෞරවනීය හඬින් පවසනවා.

පවුල් ජීවිතය තරගයක් නොවී ගෙන ගියත්, ඇයට කරාටේ ගමනේ දී එහෙම යෑමේ අවකාශයක් ලැබුණේ නැහැ. හැළ හැප්පීම් රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ ගැන ඇය පවසන්නේ ඉතා සංවේදීව.

ගෑණු අපිට දරාගන්න බැරි ගොඩාක් දේවල්වලට මුහුණ දෙන්න වුනා. ඒ හැම තැනක දී ම ඔහු ඉදිරිපත් වුනා. මට ලැබිය යුතු අවස්ථා බොහොමයක් එවකට හිටපු කරාටේ පාලකයන් අහිමි කළා. ඔවුන් තම තමන්ගේ හිතවත් අයට සලකන්න අපේ දක්ෂතා පසෙකට දැම්මා. වරක් බංග්ලාදේශයට එක්ක ගිහින් එක තරගයක්වත් මට ලබා දුන්නේ නැහැ. මගේ ඉසව්වට සහභාගී වෙන්න මට නොදී වෙනත් අය දැම්මා. ඒ දාපු අය පරාජය වුනා. මේ අපේ රට ට ලැබෙන්න තිබුණ පදක්කම්. අපි තේරීම් තරග තුන ම ජයග්‍රහණය කරල කණ්ඩායමට එකතු වෙනවා. ඒත් පිට අය ඇවිත් තරගවලට සහභාගී වෙනවා. 2006 අවුරුද්දේ සාෆ් රන් පදක්කමට යන්න තිබුණා. ඒත් මට කවුරුවත් උදව් කළේ නැහැ. මේ අසාධාරණකම් අපි කියන්න පුළුවන් හැම කෙනාට ම කිව්වා. ඒත් කිසිම ඵලක් වුනේ නැහැ. ඒ ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්.”

මේ කලකිරීම කෙතෙක් දැයි කියනවා නම් රේණුකා ශ්‍රී ලංකා ගුවන් හමුදා ජීවිතයට විශ්‍රාම දී 2017 වසරේ දී සමුගන්නවා.

මට කරාටේ ක්‍රීඩාවෙන් යමක් ලැබුණා නම් ඒ ගුවන් හමුදාවෙන්. මම ඒ ගැන එහි සියලුම දෙනාට ම ස්තූති කරනවා. ඒ වගේම මගේ පුහුණුකරු ලෙසින් කටයුතු කරපු ආර්. අයි. සිංහවංශ ගුරුතුමාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා අද ජීවතුන් අතර නැති වුනත් මට විශාල ශක්තියක් වීම තුළ ඔහුට ඒ ගෞරවය ලැබිය යුතුයි.”

රේණුකා, මේ වෙන විට පදිංචිව සිටින්නේ මැල්සිරිපුර. රේණුකා නැමති කරාටේ ක්‍රීඩිකාවට තිත තැබුවත්, ඇය මේ වන විට අනාගත පරපුර වෙනුවෙන් කරාටේ ක්‍රීඩාවේ ගුරුහුරුකම් ලබා දෙනවා.

ක්ෂේත්‍රය ගැන විශාල කලකිරීමක් තියෙන්නේ. ඒත් තවමත් කරාටේ ක්‍රීඩාව අගේ තියෙනවා. ඒකයි දන්න දේ ළමයින්ට කියල දෙන්නේ.”

රේණුකා මේ වන විට ළමුන් තිදෙනෙක්ගේ ආදරණීය මවක්. ලොකු පුතා අදීශ ප්‍රභාශ්වර බස්නායක, අවුරුදු 15 වෙන ඔහු කුරුණෑගල යුද හමුදා පාසලේ ඉගෙන ගන්නා ගමන් කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කරනවා. මද්දුමී අවුරුදු 7ක් වෙන යළින්දි රෙශන්‍යා බස්නායක, ගලේවෙල ඕල්කට් බෞද්ධ පාසලේ ඉගනුම කරන අතර කරාටේ ක්‍රීඩාවේ නියුතු වෙනවා. බාලයා අවුරුදු එකහමාරක් වෙන පසින්ඳි රෙහන්‍යා බස්නායක.

ළමයි කරාටේ ක්‍රීඩාවට යොමු කළේ මේ තුළ දිගු ගමනක් යවන්න නෙමේ. මොකද මට වුන අසාධාරණකම් නිසා මට හොඳ අනාගතයක් මේ තුළ පෙනෙන්නේ නැහැ. නමුත් ළමයින්ගේ කැමැත්තට ඉඩ නොදී බෑ. ඔවුන් ඔවුන්ගේ හෙට දවස තීරණය කරාවි. ඒ වෙනකම් මම දන්න දේ, මගේ ළමුන්ට වගේ ම මා වටා සිටිමින් පුහුණුවට එන ළමුන්ට කියල දෙනවා”, රේණුකා නිශාන්ති සෝමසිංහ ThePapare.com පැවසුවා.

කරාටේ ජීවිතයේ හැල හැප්පීම් මැද, ඉන් අකර්මණ්‍ය නොවී අදටත් ඊට ආදරය කරමින් මතු පරපුරක් බිහිකිරීමට ගන්නා වූ ඇයගේ මේ උත්සාහයට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<