රුසියාවේ ක්‍රියාකලාපය ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් තීරණයක්

174

රුසියාව සහ Belarus රාජ්‍යයන් එක්ව ඔලිම්පික් සටන් විරාමය කඩකරමින් කටයුතු කිරීම නිසාවෙන් ඔලිම්පික් ව්‍යාපාරය මේ වන විට මුහුණ දී තිබෙන ප්‍රශ්නය පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක නිලධාරීන් විසින් සාකච්ඡා කර තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනේ,

“ඔලිම්පික් උළෙල තුළින් ලොව පුරා රටවල්හී සියලු ජාතීන් දේශපාලන ආරවුල්වලින් ඔබ්බට ගෙනවිත්, ක්‍රීඩාව තුළින් සාමය සහ සහයෝගීතාව ගොඩනැගීම ප්‍රධාන අරමුණක් වන අතර ඔලිම්පික් උළෙල, පැරාලිම්පික් උළෙල වැනි ක්‍රීඩා තරගාවලි තුළින් යුද්ධයන්හී නිරත වන රටවල් පවා සමඟි කරනු දක්නට ලැබෙනවා.

ඒ වගේම සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්සේසත් කරමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව තරගවලට යොමුකිරීම සඳහා අපි කැපව සිටිනවා.

කෙසේ නමුත් වර්තමානයේ යුක්‍රේනයේ ඇතිව ඇති යුදමය තත්වය ඔලිම්පික් උළෙල විශාල අර්බුදයකට ඇද දමනවා. රුසියාවේ සහ Belarus ක්‍රීඩක ක්‍රීඩිකාවන් වර්තමානයේ තරගාවලිවලට සහභාගි වූවත්, යුක්‍රේනයේ සිටින බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය රටට එල්ල වූ ප්‍රහාර නිසා එය නවත්වා තියෙන්නේ.

මෙය විසඳිය නොහැකි ප්‍රශ්නයක් බවට පත්ව ඇති නිසාවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අප විසින් සියලු දේ සලකා බලා පහත තීරණ ගැනීමට කටයුතු කළා.

1. ක්‍රීඩා තරගාවලිවල සහ ඒවාට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියල්ලගේ ආරක්ෂාව සලකා බලා රුසියානු සහ Belarus ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරි තරගාවලිවල ආරාධනා කිරීම සහ සහභාගී වීමට ඉඩ නොදෙන ලෙස සියලූම ක්‍රීඩා සංගම්වලට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිර්දේශ කරනවා.

2. ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව වන අප විසින් සියලූම ක්‍රීඩා සංගම්වලින් දැඩි ලෙස ඉල්ලා සිටිනවා ඉදිරි තරගාවලි සියල්ලට රුසියානු හෝ Belarus නාමය යටතේ කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගී වීමට ඉඩ නොදෙන ලෙස සහ ඔවුන්ට මධ්‍යස්ථ ක්‍රීඩකයින් ලෙස සහභාගී විය හැකි නමුත් කිසිදු ජාතික ධජයක් යටතේ තරග වැදීමට නොහැකි.

3. 2022 පෙබරවාරි 25 වැනි දින ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කළ රුසියාව හෝ Belarus තුළ කිසිදු ක්‍රීඩා තරගාවලියක් නොපැවැත්වීමට ගත් තීරණය එලෙසෙම පවත්වා ගෙන යෑම.

4. ලොව පුරා ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ප්‍රජාවේ සාමය සඳහා සිදු කරන ඉල්ලීම් ඔලිම්පික් කමිටුව විසින් පිළිගන්නා අතර විශේෂයෙන්ම රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිදු කරන සාම ඉල්ලීම් අගය කරනවා.

5. යුක්‍රේනය ඔලිම්පික් ප්‍රජාව සමඟ පූර්ණ සහයෝගිතාව තහවුරු කරමින් මානුෂීය ආධාර ලබා දීම සඳහා වන උත්සාහයන් දිගටම කරගෙන යාමට ඔලිම්පික් කමිටුව කැපවී සිටිනවා. එමෙන්ම යුක්‍රේනය සඳහා අරමුදලක් නිර්මාණය කිරීමට ද කටයුතු කරන අතර යුක්‍රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දක්වන සියලූම දෙනාට ඔලිම්පික් කමිටුවේ ස්තුතිය පුද කරනවා.”

මෙම සිදුවීම් ඔලිම්පික් කමිටුවේ කාර්ය සාධක බලකාය සමඟ එක්ව සමීපව නිරීක්ෂණය කරමින් ඉදිරි තීරණ ගැනීමට සූදානම් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුනා.

එමෙන්ම මෙහි දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් එහි සභාපතිවරයාගේ ඉල්ලීම වන “සාමයට අවස්ථාවක් දෙන්න” යන්න නැවත තහවුරු කර සිටියා.

Olympic නිල වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<