ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ජාතික පැරාලිම්පික් කණ්ඩායම ඊයේ (07) සවස දිවයිනට පැමිණියා.
පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (08) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ජාතික පැරාලිම්පික් කණ්ඩායම ඉතා උණුසුම් අන්දමින් පිළිගත් අතර අමාත්‍යවරයා ඔවුන් සමඟ කෙටි පිළිසඳරක ද නිරත වුනා.
ලෝක ශූර රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් තමා ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,
”අපිට ගොඩක් සතුටුයි ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව. ඉදිරියේ දී අපි අපේම වාර්තා අලුත් කරන්න කැප වෙලා පුහුණුවීම් කටයුතු කරනවා.
යුද හමුදාවෙන් ලැබුණු පන්නරය සමඟ ඔවුන්ගේ සහයෝගය අපිට ශක්තියක් වුනා. ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික පැරාලිම්පික් කමිටුව මේ ජයග්‍රහණවලට ලොකු පිටිවහලක් වුනා.
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපි වෙනුවෙන් සැලැස්මකට අනුව ලබා දෙන පුහුණුව, පහසුකම් හා දීමනා මේ ජයග්‍රහණවලට සුවිශාල සහයෝගයක් වුනා වගේම ක්‍රීඩකයන් හැටියට අපිට ඒක ලොකු දිරිගැන්වීමක්.” යනුවෙනුයි.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් උළෙලක දී ජාතික ගීය වාදනය වුනා වගේම අපේ ජාතික කොඩිය ඉහළට එසවුනා. මට හරිම සතුටක් දැනුණා ඒ වෙලාවේ. ඒක අපිට ඉමහත් අභිමානයක්.
ඒ අභිමානය ජාතික පැරාලිම්පික් කමිටුවටත්, ක්‍රීඩා අමාත්‍යතුමාටත්, ක්‍රීඩා අමාත්‍යාංශයටත් හිමි විය යුතුයි. හැමෝම එකතු වෙලා මේ ගමන ගියේ නැත්නම් අපිට මේ ජයග්‍රහණ හම්බවෙන්නේ නැහැ. ඒ එකමුතුකම, සහයෝගය ඉමහත් අගය කොට සලකනවා, යැයි ඔහු එහි දී වැඩිදුරටත් පවසා සිටියා.
- පැරාලිම්පික් විජයග්‍රහණය කළ ක්‍රීඩකයින්ට බරටම තෑගි
- ජාතික ගීය අභිමානයට පාත්‍ර වූ මෙරට හොඳම පැරාලිම්පික් මෙහෙයුම
- ශ්‍රී ලංකා පැරාලිම්පික් ඉතිහාසය සහ මෙවර අපේ සංචිතය
- රන් පදක්කමකට මාන බලන ඉපලෝගම වීරයා
- පැරාලිම්පික් යන පළමු යුද හමුදා පොලිස් ක්‍රීඩකයා “සමිත”
එම අවස්ථාවේ දී ජාතික පැරාලිම්පික් කමිටු සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා විසින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු සඳහා ක්‍රීඩා සංකීර්ණයක් හා පැරාලිම්පික් කමිටු කාර්යාලය පවත්වා ගෙන යාමට සුදුසු ස්ථානයක් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එහි දී අමාත්‍යවරයා මෙසේ සිය අදහස් දක්වා සිටියා,
පළමුවෙන්ම ලෝක වාර්තාවක් ද සමඟ පැරාලිම්පික් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් රට සහ ක්‍රීඩාව වෙනුවෙන් ඔබ ලබා ගත් ජයග්‍රහණ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම ඔවුන්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතා ඇතුළු සියලුම පුහුණුකරුවන්ටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා.
ඒ වගේම මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතා වාර්තා කළා. ඒ පිළිබඳව ඉතාමත් සතුටුයි. එළඹෙන තරගාවලි ඉලක්ක කර ගනිමින් ඒ සඳහා පුහුණුවීම් ආරම්භ කර හොඳින් සූදානම් විය යුතුයි.
ක්‍රීඩාවෙන් ඉදිරියට යන ඔබ දෙස බලා සිටින අපේ දරුවන්ට ඔබ ආදර්ශයක් විය යුතුයි. ඔබේ දක්ෂතා වැඩි දියුණු කර ගනිමින් සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔබ දෙස බලාගෙන සාර්ථක වෙන්න උත්සහ කරන අපේ ඊළඟ පරම්පරාවට ඔබ ආදර්ශයක් වෙන්න.
ක්‍රීඩාවෙන් මගේ දරුවාට හොඳ අනාගතයක් තිබෙන බව පසක් වූ විට අපේ රටේ දෙමාපියන් වුනත් බියකින් සැකයකින් තොරව තමන්ගේ දරුවන් ක්‍රීඩාවට යොමු කරාවි. ඒ විශ්වාසය ඔවුන්ට ලැබෙන විදියට කටයුතු කරන්න.
ස්වයං විනය ඇතිව ක්‍රීඩාවෙන් වගේම ජීවිතය දිනන්නත් ඔබ සියලු දෙනාට මා සුබ පතනවා.
ඉදිරි තරගාවලිවල දීත් ඔබ සියලු දෙනා ඔබේ උපරිම දස්කම් දක්වමින් අපේ රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගනිවී යැයි මා විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස උපරිම සහයෝගය මා ඔබට ලබා දෙනවා, යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැකසූ මාධ්‍ය නිවේදනයක් ඇසුරෙන්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<





















