Nations Cup කිරුළ සිංගප්පූරුවට

Nations Cup 2023

328

සිංගප්පූරුවේ දී පැවති Nations Cup 2023 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සත්කාරක සිංගප්පූරුව සමත් වුනා.

පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමඟ ඊයේ (28) පැවති අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ දී ලකුණු 59-56ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සිංගප්පූරු කණ්ඩායම සමත් වුනා.

තරගයේ පළමු අර්ධයේ දී පැපුවා නිව් ගිනියාව ලකුණු 18-16ක් ලෙස පෙරමුණේ සිටි නමුත් දෙවැනි අර්ධයේ දී සිය රිද්මයට පැමිණි සිංගප්පූරුව තරගය ජයග්‍රහණය කළේ තෙවැනි සහ සිව්වැනි කාර්තු ජයග්‍රහණය කරමිනුයි.

තරගාවලියේ පස්වැනි ස්ථානය සඳහා සිංගප්පූරු A සහ ශ්‍රී ලංකාව තරග බිමට පිවිසි අතර එම තරගයෙන් ලකුණු 55-48ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිංගප්පූරු A කණ්ඩායම සමත් වුනා.

තරගයේ පළමු අර්ධය (මුල් කාර්තු දෙක) අවසන් වන විට ලකුණු 30-22ක් ලෙස ජයග්‍රාහී පෙරමුණක් ලබා ගැනීමට සිංගප්පූරු A ක්‍රීඩිකාවන්ට හැකි වුනේ තරගාවලියේ දෙවැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

තෙවැනි සහ සිව්වැනි කාර්තුවල දී ලකුණු 26-25ක් ලෙස පෙරමුණ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූවත්, මුල් අර්ධයේ ලද පෙරමුණ සමඟ ලකුණු 55-48ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට සිංගප්පූරු යොවුන් ක්‍රීඩිකාවන් සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ දී තරග පහකට සහභාගී වූ අතර එයින් හතරක් පරාජයට පත් වූ ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Cook Island කණ්ඩායමට එරෙහි තරගය පමණයි.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට යොවුන් ක්‍රීඩිකාවන් රැසක් කැඳවා තිබූ අතර තරමක අත්දැකීම් අඩු කණ්ඩායමක් ලෙසින් මෙම තරගාවලියේ දී ඔවුන් දැක්වූ දස්කම් ඉතා කැපී පෙනෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<