ජාතික දැල්පන්දු පුහුණුකාරිනී ධුරයට අයදුම්පත් කැඳවයි

136
Sri Lanka Netball

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු ප්‍රධාන පුහුණුකාරිනී තනතුර සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය මඟින් අයදුම්පත් කැඳවනු ලැබේ. 

2022 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාවය සහ ඒ අතරතුර පැවැත්වෙන සියලුම තරගාවලි ඉලක්ක කරගනිමින් මෙම නව ප්‍රධාන පුහුණුකාරිනිය පත්කිරීම සිදුකෙරෙනු ඇත. මීට පෙර එම ධුරය දරමින් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමඟ දැඩි සාර්ථකත්වයක් අත්විඳි තිලකා ජිනදාස නොසිතූ ලෙස පසුගිය මාසයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම ධූරය පුරප්පාඩු විය. 

තිලකා ජිනදාස 2018 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී ධුරයට පත්කෙරුනු අතර ඒ ඇය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පත්වූ දෙවන අවස්ථාව යි. අනතුරුව එම වසරේම සැප්තැම්බර් මාසය වන විට ඇය ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාවය කරා රැගෙන යන්නට සමත් වූයේ 2009 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට එම ශූරතාවය හිමිකර දෙමිනි. මෙහිදී විශේෂත්වය වන්නේ 2009 වසරේ දීද ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඇයගේ පුහුණුකාරීත්වය යටතේ වීමයි. තවද 2018 වසර සිට 2019 වසර අවසානය දක්වා ඇය එම ධුරයේ කටයුතු කළ කාල සීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල 28 වන ස්ථානයේ සිට 18 වන ස්ථානය දක්වා ඉදිරියට එන්නට ද සමත් විය. 

තවත් කියවන්න;

ඉදිරියේ දී Nations Cup තරගාවලිය ද ඇතුළුව වෙනත් විදෙස් කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙවර නව පුහුණුකාරිනී ධුරය සඳහා සිදුකෙරෙන පත්වීම දීර්ඝ කාලීන පදනමක් මත සිදුකිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය බලාපොරොත්තු වේ. ඒ අනුව පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා දැල්පන්දු සංගම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුකූලව ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා කෙරෙන පත්කිරීම් වසරක කාලයක් සඳහා පමණක් සිදුකෙරුනත් කණ්ඩායම දක්වන දක්‍ෂතා පදනම් කරගෙන මෙවර සිදුකෙරෙන පත්කිරීම තවත් වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. 

මෙම ධුරය සඳහා අයදුම් කරන්නන් ඔවුන්ගේ අදාළ ජීව දත්ත පත්‍ර එළඹෙන ජුනි මස 04 වන දිනට පෙර විද්‍යුත් තැපෑල හෝ ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමුකළ යුතුය. 

මීට අදාළ වැඩිදුර තොරතුරු 0773 332 400 දුරකථන අංකය යටතේ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් චම්පා ගුණවර්ධන ඇමතීමෙන් ලබාගත හැක.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<