ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ දැල්පන්දුවට කාර්යබහුල වසරක්

194
Netball included in Asian Indoor Games 2021

මේ දිනවල ලොවපුරා පැතිර යන නව කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසරේ ක්‍රීඩා කටයුතු රැසක් තවදුරටත් කල් යාමට ඉඩකඩක් ඇත. ඉදිරියේ දී මෙම තත්වය පහව ගියහොත් එළඹෙන වසර ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට ඉතා කාර්යබහුල වසරක් වනු ඇත. 

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා ThePapare.com අප සමඟ එක්වෙමින් 2020 ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය, එළඹෙන 2021 වසර සඳහා වන සැලසුම්, මීට දින කිහිපයකට පෙර තිලකා ජිනදාස දැල්පන්දු ජාතික පුහුණුකාරිනී ධූරයෙන් ඉවත් වීම ඇතුළු තවත් කරුණු රාශියක් පිළිබඳව අදහස් දැක්වීය. 

“මම මුලින්ම සතුටින් ප්‍රකාශ කරනවා ආසියානු ඔලිම්පික් කවුන්සිලය (OCA) දැල්පන්දු ක්‍රීඩාව ආසියානු ගෘහස්ථ තරගාවලියට ඇතුළත් කරලා තියෙන බව. මම හිතනවා ඒක දැල්පන්දු ක්‍රීඩාවට ගොඩක් වැදගත් කියලා. ඒක හරහා ආසියානු ශූරතාවය සහ දැල්පන්දු ලෝක කුසලානයට අමතරව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලියක තරග වදින්න තවත් අවස්ථාවක් හිමිවෙනවා.” 

6 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ශූරතාවය (AIMAG) එළඹෙන 2021 වසරේ අප්‍රේල් මස 24 වන දින සිට මැයි මස 05 වන දින දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට මේ වන විට නියමිතව ඇත. මෙවර එම තරගාවලිය සඳහා ක්‍රීඩා ඉසව් 24ක් එක්කර ගැනීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත. ඒ අතරට දැල්පන්දු සහ පාපන්දු ක්‍රීඩා එක්කර ඇත්තේ ඉතිහාසයේ පළමු වරට යි. මෙම තරගාවලිය සඳහා ආසියානු ඔලිම්පික් කවුන්සිලය නියෝජනය කරනු ලබන රටවල් 45ට අමතරව ඕෂනියා කලාපයේ ජාතික ඔලිම්පික් කමිටු නියෝජනය කරමින් තවත් රටවල් 14කුත් සහභාගී වේ. 

ඒ අනුව දැල්පන්දු තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට සිංගප්පූරුව, මැලේසියාව සහ හොං කොං වැනි ආසියානු කලාපයේ දැඩි තරගකාරී කණ්ඩායම් වලට අමතරව සැමෝවා සහ ෆීජි වැනි ඕෂනියා කලාපයේ ප්‍රබල කණ්ඩායම් සමඟ ද මෙහිදී තරග වැදීමට සිදුවනු ඇත. සැමෝවා සහ ෆීජි කණ්ඩායම් පසුගිය 2019 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ පිළිවෙලින් 13 සහ 14 වන ස්ථාන දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව එහිදී දිනාගනු ලැබුවේ 15 වන ස්ථානය යි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සිංගප්පූරුව ලකුණු 78-57ක් ලෙස පරාජයට පත්කිරීමට සමත් වුවත් අනෙක් පසින් ඔවුන් සැමෝවා සහ ෆීජි කණ්ඩායම් හමුවේ පිළිවෙලින් ලකුණු 55-66ක් සහ 44-59ක් ලෙස පරාජයට පත්විය. 

“මේ වන විට උද්ගත වෙලා තියෙන තත්වයත් එක්ක 2020 ආසියානු දැල්පන්දු ශූරතාවය අවලංගු වේවි. මොකද එළඹෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් තෝරා ගැනෙන්නේ 2022 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාවය හරහා නිසා, ඒ තරගාවලිය තරම් මේ වසරේ ආසියානු ශූරතාවයේ ලොකු වැදගත් කමක් නැහැ.” 

කෙසේ නමුත් 2021 වසර තුළ ‘ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය’ මෙන්ම ‘දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලිය’ ද පැවැත්වීමට නියමිතව තිබීමත් සමඟ එළඹෙන වසර ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායමට කාර්යබහුල වසරක් වනු ඇති බව නොඅනුමානය. 

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම වසරේ ආසියානු දැල්පන්දු ශූරතාවය අවලංගු වෙලා දකුණු කොරියාවට එහි සත්කාරකත්වය දැරීමේ අවස්ථාව අහිමි වෙලා ගියොත්, ගොඩක් දුරට යොවුන් තරගාවලියේ සත්කාරකත්වය ඔවුන්ට හිමි වේවි. ඊට අමතරව දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ එළඹෙන අවුරුද්දේ ජූනි මාසයේ දී ෆීජි වල.” 

තවත් කියවන්න;

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමට එළඹෙන 2021 වසරේ දී එම තරගාවලි ද්විත්වයටම සහභාගී වන්නට සිදුවන්නේ පසුගිය වසරේ (2019) ඔක්තෝම්බර් මාසයේ දී ‘Acute Myeloid Leukemia’ රෝග තත්වයෙන් අභාවයට පත්, කණ්ඩායමේ සිටි ප්‍රබල ගෝල විදීමේ ක්‍රීඩිකාවක වූ මෙලනි විජේසිංහගේ අඩුව සහිතව ය. 

අවසාන වශයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය වූ තිලකා ජිනදාස පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ලක්ෂ්මි වික්ටෝරියා ප්‍රකාශ කර සිටියේ

“ජාතික පුහුණුකාරිනිය ලෙස තිලකා සිදුකළ සේවය මම ගොඩක් අගය කරනවා. ඇය 2009 වසරෙන් පසුව පළමු වරට ආසියානු දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කරන්න සමත් වුනා වගේම ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව සමස්තයක් ලෙස ඉහළට ඔසවා තබන්න ද සමත් වුනා. කොහොම වුනත් මම මේ අවස්ථාවේ දී ඇය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සිදුවීම ගැන කතා කරන්න කැමති නැහැ.” ලෙසයි. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<