තිලකා ජිනදාස ජාතික දැල්පන්දු පුහුණුකාරීත්වයෙන් ඉවත් වෙයි

321

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 

ඇයගේ මෙම තීරණය පිළිබඳව විද්‍යුත් තැපෑලක් හරහා ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති ලක්‍ෂ්මි වික්ටෝරියා දැනුවත් කිරීමට ඇය කටයුතු කරනු ලැබීය. ඒ අනුව ඇය මේ ආකාරයට ජාතික දැල්පන්දු ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ එම ධූරයට අදාළ ගිවිසුම 2020 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසානය දක්වා වලංගුව තිබූ පසුබිමක් තුළයි. 

“ලෝකය පුරා ක්‍රීඩා කටයුතු මේ වන විට පවතින ‘Coronavirus’ තත්වය හේතුවෙන් නැවතිලා තියෙන මොහොතක මේක හදිසියේ ආපු තීරණයක් වුනාට මට හිතුණා මේක තමයි ධූරයෙන් සමුගන්න හොඳම වේලාව කියලා. එළඹෙන ජුනි මාසයේ දී තියන්න තිබුණ ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව මෙවරත් ආරක්‍ෂා කරගන්න මම සැලසුම් නිර්මාණය කරමින් සහ කණ්ඩායම පුහුණු කරමින් සිටියේ. ඒත් දැන් ඒ තරගාවලිය දින නියමයකින් තොරව කල්ගිහින් තියෙන්නේ.”

තිලකා ජිනදාස ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසීය.

“මම විශ්වාස කරන විදිහට ක්‍රීඩා කටයුතු නැවතත් ආරම්භ වෙන්න ලොකු කාලයක් යයි. ඒ අනුව මට හිතෙන්නේ ආසියානු දැල්පන්දු ශූරතාවලිය ලබන වසරේ දී වත් පැවැත්වෙන එකක් නැහැ කියලා. මොකද ලබන වසරේ දී ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය වගේම දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලියත් පවත්වන්න දැනටමත් දින නියම කරලා තියෙන්නේ.

ඒ අනුව රටවල් මුහුණ පාන මූල්‍ය, සංවිධාන සහ ක්‍රියාත්මක කිරීමේ අපහසුතා හේතුවෙන් ලබන වසරේ දී ආසියානු කලාපය තුළ ජාත්‍යන්තර තරගාවලි තුනක් තියන්න පුළුවන් ඉඩකඩ ගොඩක් අඩුයි. ඒ වගේම මේ ආසියානු ශූරතාවලිය ඊළඟ ආසියානු ශූරතාවලිය තරම් වැදගත් නැති නිසා (2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් තේරීම සඳහා 2022 ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉවහල් වේ.) ඔවුන් මේ තරගාවලිය අවලංගු කරන්නත් ඉඩ තියෙනවා.

මේ සියල්ලත් සමඟ එළඹෙන අවුරුදු 1 ½ක වගේ කාලය තුළ තරගාවලි නැති වීමත් සමඟ එම කාලය තුළ ජාතික කණ්ඩායමේ අනාගතය අවිනිශ්චිතයි. අනික කොහොමත් ජුනි මාසයේ තියෙන්න තිබුණ ආසියානු ශූරතාවලියෙන් පසුව මම ශූරයෙන් ඉල්ලා අස්වෙන්න හිටියේ.”

තිලකා ජිනදාස 2018 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී ධූරයට පත්කෙරුණු අතර ඒ ඇය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පත්වූ දෙවන අවස්ථාවයි. අනතුරුව එම වසරේ ම සැප්තැම්බර් මාසය වන විට ඇය කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාවය කරා රැගෙන යන්නට සමත් වූයේ 2009 වසරෙන් පසුව පළමු වරට ශ්‍රී ලංකාවට එම ශූරතාවය හිමිකර දෙමිනි. 

මෙහි දී විශේෂත්වය වන්නේ 2009 වසරේ දී ද ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඇයගේ පුහුණුකාරීත්වය යටතේ වීමයි. තවදුරටත් 2018 සිට 2019 වසරේ අවසානය දක්වා ඇය එම ධූරයේ කටයුතු කළ කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට එන්නට ද සමත් විය. 

තවත් කියවන්න;

කෙසේ නමුත් ඇය සහ කණ්ඩායම ලබා ගත් මෙම ජයග්‍රහණ සියල්ල හමුවේ වුව ද ඇයට එම ධූරයේ කටයුතු කිරීම පහසු කටයුත්තක් නොවූ අතර ඒ අනුව පසුගිය 2019 වසරේ මැද භාගයේ දී බලයට පැමිණි වත්මන් දැල්පන්දු පරිපාලනය සමඟ ඇය අපහසු කාලයක් ගතකරමින් සිටින බවට වාර්තා ද විය. 

“මගේ කටයුතු සිදුකරගෙන යන්න වගේම කණ්ඩායම සමඟ ඔවුන්ව වැඩිදියුණු කරමින් ඉදිරියට රැගෙන යන එකත් දැන් ඉන්න පරිපාලනයත් එක්ක මට ගොඩක් අපහසු කටයුත්තක් වුනා. මම හිතනවා පසුගිය වසර දෙකක කාලය තුළ අපි ලබා ගත්ත ජයග්‍රහණ වෙනුවෙන් ලැබෙන්න ඕන පිළිගැනීම සහ ගෞරවය කණ්ඩායමටත් මටත් ලැබුණේ නැහැ කියලා,” ඇය වත්මන් පරිපාලනය පිළිබඳව කලකිරීමෙන් අදහස් දක්වමින් පැවසීය.

“ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස නැවතත් සම්බන්ධ වෙන්න මගේ කිසිම සැලසුමක් නැහැ, අඩුම තරමේ වත්මන් පරිපාලනය බලයේ ඉන්න කාලය තුළ,” ඇය අවසාන වශයෙන් පැවසීය.   

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<