ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතව ඉදිරියට

ICC Women's T20 World Cup Qualifier

132
ICC Women's T20 World Cup Qualifier

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (01) උගන්ඩාව සමඟ පැවැති තරගයේ දී ලත් ජයග්‍රහණයත් සමඟින් ඉතා පහසුවෙන් ම දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

අද පැවැති තරගයේ දී උගන්ඩාවට එරෙහි ව ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගත් ඔවුන් ඊට පෙර පැවැති තායිලන්තය සහ ස්කොට්ලන්තය ද පරාජය කරමින් A කාණ්ඩයේ පළමු ස්ථානයට ද පත් වූහ.

උගන්ඩාව සමඟින් පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 154ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් උගන්ඩා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලත ම ක්‍රීඩිකාව ලෙසින් වරම් දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 15 හැවිරිදි වියේ පසුවෙන් ශෂිනි ගිම්හානි සමත් වීම කැපී පෙණුනි.

3 වැනි තරගය, A කාණ්ඩය (රාත්‍රී), අබුඩාබි, මැයි 01, 2024, ICC Women’s T20 World Cup Qualifier

o කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

o ක්‍රීඩාංගණය – Zayed Cricket Stadium, අබුඩාබි.

o තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – විශ්මි ගුණරත්න.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ හංසිමා කරුණාරත්න, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි සහ අචිනි කුලසූරිය වෙනුවට ශෂිනි ගිම්හානි, හර්ෂිතා සමරවික්‍රම, කාව්‍යා කාවින්දි සහ ශෂිනි ගිම්හානි එක් කර තිබුණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, ශෂිනි ගිම්හානි.

උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Janet Mbabazi (නායිකාව), Immaculate Nakisuuyi, Rita Musamali, Kevin Awino (කඩුලු රකින්නිය), Stephani Nampiina, Prosscovia Alako, Phiona Kulume, Malisa Ariokot, Sarah Walaza, Concy Aweko, Lorna Anyait.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව සුපුරුදු ලෙසින් ම එම ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්න සහ නායිකාව වන චමරි අතපත්තු විසිනි.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කරද්දි චමරි අතපත්තු තම ඉනිම හැර ගියා ය. ඒ වෙද්දී ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

අනතුරු පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රමට ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණී. ඇයගේ නික්ම යෑමත් සමඟින් පිටියට පිවිසි හසිනි පෙරේරා තම වගකීම් නිසි ලෙස හඳුනාගනිමින් 3 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් නික්ම යද්දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් තම කණ්ඩායමට එක් කර තිබුණි.

ඇයගේ දැවී යෑමත් සමඟින් පිටියට පිවිසි කවීෂා දිල්හාරි ට මෙම තරගයේ කණ්ඩායම සතුටු වෙන තරමේ දක්ෂතාවක් දැක් වීමට හැකියාව නොලැබුණි. ඇයට ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණක්.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ආරම්භක පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිසි විශ්මි ගුණරත්න පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා සිටියා ය. ඇයගේ මෙම ඉනිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල හොඳම ඉනිම බවට ද පත් විණි.

ඇයත් සමඟින් අනෙක් අන්තයේ රැදී සිටි නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුනු 3ක් ලබා සිටි අතර කඩුලු දවා ගැනීමේ දී Janet Mbabazi සහ Rita Musamali කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා ය.

ඕස්ට්‍රේලියාව හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ලෝක කුසලානයට යයි!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2 වැනි ජයත් වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතව ඉදිරියට

ලෝක කුසලානයට යන ගමනේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන්

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 33ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියො සමත් වීම කැපී පෙණුනි. ලකුණු 87කින් නිමා වූ ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වුයේ Prosscovia Alako ය. ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා ය.

ඊට අමතර ව ඉනිම ආරම්භ කළ නායිකා Janet Mbabazi ලකුණු 14ක් ද සහ Sarah Walaza ලකුණු 10ක් ද ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට සම්බන්ධ වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා නොදුන් හ.

කඩුලු ලබා ගැනීමේ දී ඉනෝකා රණවීර, කෝඩිකාරියක ලෙසින් තරගයට එක් වූ ශෂිනි ගිම්හානි සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවා ගත් හ. ඊට අමතර ව චමරි අතපත්තු සහ කාව්‍යා කාවින්දි අතර ද කඩුලක් බැගින් බෙදී ගිය හ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 154 (20.0) විශ්මි ගුණරත්න නොදැවී 73, චමරි අතපත්තු 24, හසිනි පෙරේරා 30

උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 87 (19.2) Prosscovia Alako 36, ඉනෝකා රණවීර 2/10, ශෂිනි ගිම්හානි 2/23, කවීෂා දිල්හාරි 2/27

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 67ක ජයක්.

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම තරගය මේ මස 03 වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් ඇමරිකාව සමඟින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<