ශ්‍රී ලංකාවට ICCයෙන් දඬුවම්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

3227

ඕස්ට්‍රේලියාව සමඟ Sydney නුවර දී පැවති දෙවැනි විස්සයි තරගයේ දී රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ අත්දැකීම් බහුල තරග තීරක David Boon විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර වේගයට වඩා එක් පන්දුවාරයක් පිටුපසින් සිටින බව තහවුරු කර තිබුණා.

එලෙස කණ්ඩායමක් නියමිත කාලයට පන්දුවාර යැවීමට අසමත් වූ විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2.2 වගන්තියට අනුව ප්‍රමාද වී යවන සෑම පන්දුවාරයකටම 20% දඩයක් පනවනු ලබනවා.

එමෙන්ම එම තරගයේ දී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විසින් පිටිය තුල අසභ්‍ය වචන භාවිතා කිරීම නිසාවෙන් ඔහුට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවවාද කර දඬුවම් ලකුණක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

පැතුම් නිශ්ශංක පිතිකරණයේ නිරත වන අවස්ථාවේ දී පන්දුවක් මගහැරී ගිය පසු ප්‍රකාශ කළ අසභ්‍ය වචනයක් කඩුල්ලේ සවිකර තිබූ මයික්‍රෆෝනයෙන් ඇසීම නිසාවෙන් ඔහුට 2.3 නීතිය යටතේ මෙම දඬුවම ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙම වරදවල් ද්විත්වයම ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ පිතිකරු පැතුම් නිශ්ශංක පිළිගෙන ඇති නිසාවෙන් වෙනත් විභාගයකින් තොරව එම දඬුවම් ක්‍රියාත්මක කිරීමට හැකි බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පැතුම් නිශ්ශංක සිදු කළ වරද සඳහා ලබා දීමට හැකි අවම දඬුවම දඬුවම් ලකුණක් පමණක් වන අතර එය සඳහා තරග ගාස්තුවෙන් 50% සහ දඬුවම් ලකුණු එකක හෝ දෙකක උපරිම දඬුවමක් පැනවීමට ද හැකියාවක් තිබෙනවා.

ICC මගින් නිකුත් කළ නිවේදනයක් ඇසුරෙනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<