ලසිත් සහ නිශාන් Kent පන්දු යවන්නන් මෙල්ල කරයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

4837

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ Kent County Cricket Club අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (07) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් රැස් කරගෙන සිටියා.

තරගයේ පළමු දිනය වූ ඊයේ (06) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක Kent ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 418ක් වාර්තා කරගෙන සිටියා.

Kent ලකුණු පුවරුව 465ක් වන විට ලකුණු 34ක් රැස් කරගෙන සිටි Hamidullah Qadri දිනයේ පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට නිපුන් මාලිංගට හැකි වුනේ නිපුන් ධනංජය ලබා ගත් උඩපන්දුව නිසයි.

ඉන්පසු පිටියේ එක්වූ Billy Mead සහ Harry Podmore 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 106ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වුනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

ලකුණු 56ක් වාර්තා කරගෙන සිටි Harry Podmore, යසිරු රොද්‍රිගෝගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර Kent ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 595ක් වන විට සිය ඉනිම අත්හිටුවීමට Kent නායකයා තීරණය කළා.

ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි Billy Mead ලකුණු 106ක් සහ Jaskaran Singh ලකුණු 14ක් රැස් කරගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා අතර 9 වැනි කඩුල්ල සඳහා ගොඩනැගුනු සබඳතාවය ලකුණු 24ක්.

පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ, ධනංජය ලක්ෂාන් සහ උදිත් මධුෂාන් කඩුලු 2 බැගින් දවා ගත් අතර අශේන් බණ්ඩාර සහ නිපුන් මාලිංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 595ක් පිටුපසින් සිට සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට පන්දුවෙනුත් හිසරදයක් වූ Harry Podmore විසින් නායක නිපුන් ධනංජය ලකුණු 08කට පිටියෙන් ඉවත් කළා.

නිපුන්ගේ දැවී යාමෙන් පසුව ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මධුශ්ක ඉනිම ගොඩගැනීමට උත්සාහයක් දැරූ අතර දෙවැනි දිනයේ තේ පානයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 32ක් වාර්තා කරගෙන සිටියා.

තේ පානයෙන් පසුව Kent පන්දු යවන්නන්ට හිස එසවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ලසිත් සහ නිශාන් දිනයේ තෙවැනි අර්ධයේ දී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුනේ දිනය අවසන් වන විට ලකුණු 187ක නොබිඳුනු සම්බන්ධතාවක් පිහිටුවමිනුයි.

ඒ අනුව අද දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් වාර්තා කරගනිමින් Kent පළමු ඉනිමට වඩා ලකුණු 394ක් පිටුපසින් සිටියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මධුශ්ක පන්දු 120ක් තුළ නොදැවී ලකුණු 104ක් රැස් කරගැනීමට සමත් වූ අතර ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 86යි.

Kent County Cricket Club – 595/8 (137): Darren Stevens 168, George Linde 107, Billy Mead 106*, යසිරු රොද්‍රිගෝ 2/90, උදිත් මධුෂාන් 2/109, ධනංජය ලක්ෂාන් 2/106.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 201/1 (41): නිශාන් මධුශ්ක 104*, ලසිත් කෘස්පුල්ලේ 86*, Harry Podmore 1/41.

දෙවැනි දිනට තරගය අවසන්. 

මෙම තරගයේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<