2026 පාපන්දු ලෝක කුසලානයේ 17 වැනි දිනය අද (28) නිමාවට පත් වුනා.
අද දිනය තුළ ද තරග හයක් ක්‍රියාත්මක වූ අතර, ඒත් සමඟම මෙවර ලෝක කුසලානයේ මූලික වටය සඳහා අදාළ සියලු තරග ද අද දිනයෙන් නිමාවට පත් වුනා. ඒ අනුව මූලික වටයෙන් ඉදිරි වටයට යාම සඳහා අද දිනය තුළ කණ්ඩායම් කිහිපයකට අවස්ථාව හිමි වූ අතර, එම තරග සියල්ල පිළිබඳ තොරතුරු පහතින්.
පැනමාව සහ එංගලන්තය
මෙම තරගයේ පළමු අර්ධය තුළ එකදු කණ්ඩායමක්වත් ගෝල වාර්තා කිරීමට සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් එංගලන්තය තරගයේ පෙරමුණේ පසු වන බව දක්නට ලැබුණු අතර, ඔවුන් තරගයේ දෙවැනි අර්ධය තුළ ගෝල ද්විත්වයක් වාර්තා කරමින් ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
මෙහි දී Jude Bellingham සහ Harry Kane විසින් ගෝල වාර්තා කිරීමට සමත් වූ අතර, මේත් සමඟම Kaneගේ ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව එකොළහක් දක්වා ඉහළට ගියා.
මේ අතර පැනමාව මෙවර ලෝක කුසලානය තුළ සහභාගී වූ සියලු තරග, එකදු ගෝලයක් හෝ වාර්තා නොකරම පරාජයට පත් වීමත් විශේෂත්වයක්.
ක්‍රොයේශියාව සහ ඝානා
මෙම තරගය ක්‍රොයේශියාව පාර්ශවයෙන් ඉතා වැදගත් එකක් වූ අතර, ඔවුන් මෙහි දී ගෝල 2-1ක් ලෙස ජය ලබමින් ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
L කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ක්‍රොයේශියාවට හිමි වූ අතර, ඝානාව තෙවැනි ස්ථානයට පැමිණියා. කෙසේ වෙතත් ඝානා කණ්ඩායම ද ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ක්‍රොයේශියාව වෙනුවෙන් Assist එකක් දෙමින් 1966 වසරෙන් පසුව ලෝක කුසලාන ඉතිහාසයේ Assist එකක් ලබා දුන් වයස්ගත ම ක්‍රීඩකයා ලෙස luka Modrićගේ නම ඉතිහාසගත වුනා. මේ වන විට ඔහුගේ වයස සටහන් වන්නේ අවුරුදු 40 දින 291ක් ලෙසයි.
කොලොම්බියාව සහ පෘතුගාලය
මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට අසමත් වූ නමුත්, සමස්ත තරගය පුරාවට කොලොම්බියාව විසින් පෘතුගාලය අබිබවා යමින් ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණා.
මේ අතරම K කාණ්ඩයේ දී පෘතුගාලය දෙවැනි තැනට ඇද දමමින් පළමු ස්ථානයට පැමිණීමට ද කොලොම්බියාවට හැකියාව ලැබුණා.
මෙම තරගයට සහභාගී වූ පෘතුගාල ක්‍රීඩක Cristiano Ronaldo සිය 25 වැනි ලෝක කුසලානය තරගය ක්‍රීඩා කළ අතර, ලොව වැඩිම ලෝක කුසලාන තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතර ඔහු සම දෙවැනි ස්ථානයට පත් වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
DR කොංගෝ සහ උස්බෙකිස්තානය
මෙම තරගයේ දී කොංගෝ ක්‍රීඩකයින් විසින් ගෝල 3-1ක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් K කාණ්ඩයේ තෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට ද සමත් වුනා. ඒත් සමඟින් ම ඔවුන් තරගාවලියේ ඉදිරි වටයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, මෙය ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් දක්වා ඇති හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා.
ජෝර්දානය සහ ආජන්ටිනාව
මෙම තරගයේ දී ආජන්ටිනාව විසින් ගෝල 3-1ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙහි දී ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් තරගය ආරම්භ කිරීමට ප්‍රබල ක්‍රීඩක Lionel Messi සහභාගී නොවීම විශේෂත්වයක්. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී පිටියට අවතීර්ණ වූ Messi විසින් Free Kick එකක් මගින් විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.
ඒත් සමඟින් ම ලෝක කුසලාන තරග හතක දී නොකඩවා ගෝල වාර්තා කළ පළමු වැන්නා බවට පත් වීමට ද ඔහුට හැකියාව ලැබුණු අතර, මේත් සමඟින් ම ඔහු සිය වැඩිම ලෝක කුසලාන ගෝල වාර්තාව තවත් ඉදිරියට රැගෙන යමින් ද සිටිනවා.
ඇල්ජීරියාව සහ ඔස්‍ට්‍රියාව
මෙවර තරගාවලියේ මෙතෙක් ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි. මෙම තරගයට සහභාගී වූ කණ්ඩායම් ද්විත්වයටම ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය නම් තරගය පරාජය නොවී සිටීම අත්‍යාවශ්‍ය වුනා.
එවන් වටපිටාවක ආරම්භ වූ තරගයේ 28 වැනි මිනිත්තුවේ දී ඔස්ට්‍රියාව පළමු ගෝලය වාර්තා කල අතර, 45 මිනිත්තුවේ දී ඇල්ජීරියාව විසින් ඊට පිළිතුරු සපයමින් ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කළා.
ඉන් පසුව 55 වැනි මිනිත්තුවේ දී ඔස්ට්‍රියාව සිය දෙවැනි ගෝලය වාර්තා කළ අතර, ඇල්ජීරියාව 60 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය වාර්තා කළා.
එතැන් පටන් තරගය තරමක් සාමකාමී ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුනත්, තරගයේ 90+3 මිනිත්තුවේ දී ඇල්ජීරියාව නැවත ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණට පැමිණියේ ඔස්ට්‍රියාව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට මාන බලමිනුයි. කෙසේ වෙතත් තරගයේ 90+6 මිනිත්තුව තුළ ඔස්ට්‍රියාව ද තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය නැවත සම කිරීමට සමත් වූ අතර, ඒ අනුව කණ්ඩායම් ද්විත්වයම ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ඉරානයට ලෝක කුසලානයේ ඉදිරියට යාමට තිබූ අවකාශය අවාසනාවන්ත ලෙස අහිමි වුනා.
මෙවර තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ කණ්ඩායම් 32 තරග වටයට සියලු කණ්ඩායම් තෝරා ගෙන අවසන්. එම කණ්ඩායම් සහ තරග විස්තර ඔබ වෙත තවත් ලිපියකින් සමීප කිරීමට අපි සූදානම්.
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















